ඒ 2022 වර්ෂයේ පෙබරවාරි මස 08 08 වනදා පෙරවරුවයි.මා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත පිවිසෙන්නේ රෝගාතුර මාගේ නැන්දනිය දැක ගැනීම සඳහාය.මේ අතර තුර දී මා ඇස ගැටෙනුයේ රෝගාතුර වූ කතක් වැළඳගෙන හඬා වැලපෙන නාවික හමුදා සෙබළෙකි.
ත්‍රිවිධ හමුදාව යනු අපේ රටේ ආරක්ෂක වැටය.එහි සිටිනුයේ සවි ශක්තිමත් වීරෝධාර රණවිරුවන් ය.නමුත් එම විරුවන්ගේ සිත කොපමණ ශක්තිමත් එකක් වුවද ඔවුන් පවා සිත්පිත් ඇති අපි වැනිම මිනිසුන් බව මට හොඳින් තේරුම් ගියේ මෙම දසුනෙනි.
සිය මව රෝගාතුරව එක්තැන්ව රෝහලේ සිටිනා බව දැනගත් ඇයගේ එකම දරුවා වන මෙම නාවික සෙබළ පුතු වහා රෝහල වෙත පැමිණ ඇත්තේ සිය ආදරණීය මව දැකීමටය.තමන් මෙලොවට බිහිකළ ආදරණීය මෑණියන් රෝහලේ ඇඳක් උඩ වැතිර කිසිවක් කරකියාගත නොහැකිව නාසයෙන් බට දමා එතුළින් ඇයගේ කුස පෝෂණය වන අයුරු දුටු ඔහුගේ හද කම්පා විය.
එම මොහොතේ ඔහු නාවික හමුදා සෙබළ නිල ඇඳුමින් සැරසී සිටිය ද ඒ ඇයගේ පුතුම පමණක් බව පසක් කරමින් ඔහු වහා සිය මව වැළඳ හඬා වැළපුනේ කුඩා දරුවෙක් මෙනි.මෙම දසුන එම ස්ථානයේ සිටි අප සියල්ලගේ හදවත් කම්පා කරන ලදී.
පසුගිය 07 වන දා පටන් ගන්නා ලද සෞඛ්‍ය වැඩ වර්ජනය හමුවේ බොහෝ රෝගීන් අසරණ වී ඇත.ඒ අතර මෙම මව ද විය.
ඇයට ආහාර අනුභව කිරීමට හෝ හැකියාවක් නොමැතිව අසරණ සිටියි.ඇයට ආහාර වශයෙන් ලබා දෙන්නේ විවිධ දියරමය ආහාරයක් පමණක් වන අතර එයද නාසය ඔස්සේ දමා ඇති බටයක් හරහා ලබා දෙනු ලබයි.
එසේ එම බටය ඔස්සේ ආහාර ලබා දිය හැක්කේ හෙදියන්ට පමණක් වන අතර අන් කිසිවෙක් එම ක්‍රමවේදය නොදත් පසුබිමක මෙම හෙ නිලධාරීන්ගේ වැඩ වර්ජනය හමුවේ එම මව කුසගින්නේ පසුවන්නීය.
ඇය වරෙක “මගෙ බඩ දැවිල්ලයි.මට කිරි ටිකක් දෙන්න” ලෙස ඉල්ලීම් කරනු ලබයි.නමුත් ඇයට එය ලබා දීමට කිසිදු හෙදියක් එහි නොවීය.
මෙම තත්ත්වය ද ඇයගේ සෙබළ පුතුගේ හදවත තව තවත් කම්පාවට පත්කරන ලදී. ඇයගේ කුසට කිසිදු අහරක් එම දිනය පුරාවට ලැබී නොමැති බව පසුව මා කළ සොයාබැලීමකින් දැනගන්නට ලැබිණ.
ඇයගේ පුතු යෝගට් එකක් රැගෙන විත් එයින් හෝ මවගේ කුස පිරවීමට උත්සහ කළ ද එයින් ද පලක් නොවීය.
මෙවන් රෝගීන් මෙරට රෝහල් තුළ දහස් ගනනින් අසරණව ඇති. එයින් ඔවුන්ගේ ආදරණීයන් ද මහත් සේ කම්පාවට පත්වනු ඇත.සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් සාධාරණ විය හැක.නමුත් එයින් අසරණ වන්නේ හුදෙක් දේශපාලුවන් හෝ බලවත් මිනිසුන් නොවන බවත් මෙවන් අසරණ සාමාන්‍ය ජනතාව වන ඔවුන් සිහියේ තබා ගත යුතුව ඇත.
සැකසුම : රාවණා ලංකා පාඨිකාවක්
රාවණා සටහන
පවතින කොවිඩ් වසංගත සමයේ සෞඛ්‍ය අංශය රටේ ආරක්ෂාව වෙනුවෙන් මහා පහුරක් ලෙස ක්‍රියාකරන ලද පව අපද හොඳින් දනිමු.ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ විය හැක.කෙසේ නමුත් මෙවැනි වර්ජනයක් හමුවේ අසරණ වන්නේ මෙම ගැටලුවලට වගකිව යුතු දේශපාලඥයන් හෝ නිලධාරීන් නොවන බවත් රටේ සාමාන්‍ය අසරණ ජනතාව වන බවත් සිහියේ තබා ගනිමින් ඔවුන් මෙසේ පීඩාවට පත්නොවන අයුරින් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුව ඇත. මෙම අසරණ ජනතාව පිළිබඳව ද සිතාබලා කටයුතු කරන වශයෙන් අපද ඔබලාගෙන් කාරුණිකව ඉල්ලීම් කරන්නෙමු. එමෙන්ම මොවුන්ගේ ඉල්ලීම් සඳහා ඉඩ සලසා දීමට අදාළ බලධාරීන් කටයුතු කළහොත් මෙම අසරණ රෝගීන්ට මෙවන් තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවිය හැක.