හිඟමන් යදින ශ්‍රී ලංකාව රටවල් 192 කට පහලින්. මහින්ද චින්තනය, යහපාලනය, සෞභාග්‍යයේ දැක්මෙන් සිහින බොඳ වූ වැසියන් සිටින රටක්.

කාලයෙන් කාලයට දේශපාලන පක්ෂ විසින් ගෙන එන ප්‍රතිපත්ති ප්‍රකාශවලට  ශ්‍රී ලාංකික චන්ද දායකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇබ්බැහි වෙති. ශ්‍රී ලංකාව විනාශය කර ගෙන ගිය චන්ද දායකයන්ගේ බලමහිමයෙන් ජයග්‍රහණය කල ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබු සිහින මාලිඟා සියල්ලම දැන් බොඳ වී ගොසිනි. එහෙත් චන්ද දායකයාට තවමත් ලැජ්ජාවක් නම් නැති බව නම් ඕනෑවටත් වඩා පෙනෙයි. රට සීග්‍රයෙන් විනාශය කරා රැගෙන පසුගිය දශක 3 ක් පමණ වන  ඉතිහාසයේ ජනතාව අන්ධ කල ප්‍රතිපත්ති ප්‍රකාශ සහ දැන් කුමක් විය යුතුද යන්න පිලිබඳව  නීතිවේදීනී සුභාෂිණි විෆ්ලර් මහත්මිය නවතම සටහනකින් අර්ථ දක්වා තිබේ. ඇය ශ්‍රී ලංකාවේ දේශපාලනික,ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකාවකි. ඇය ශ්‍රී ලාංකික පිඩිත ජනතාව වෙනුවෙන් ජර්මනියේ සිට දැවැන්ත මෙහෙවරක්ද ඉටු කරන්නීය. මේ ඇය සටහන් කර තිබෙන සිහින වූ ප්‍රතිපත්ති ගැන ලියු සටහනකි.

අපි සිහින වල ඉන්න කැමතියි. ඒ සිහින සුන්දර නිසා. හැබයි සිහින හා අරමුණු හෝ ඉලක්ක  අතර ලොකු වෙනසක් තිබෙනවා. අපේ රටේ ගොඩක් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සිහින,මහින්ද චින්තන, යහපාලනය, සෞභාගයේ දැක්ම, ඊට එහා ගිය රට පෙරට..මේ සිහිනය තුළ අද වෙනකොට වසර 74 ක් තුල එහෙම පිටින්ම හදපු සිහින මාලිගාවල් බොඳ වෙලා. මන්ද පෝෂණයෙන් සපිරි ලෝකයේ 6 වෙනි රට බවට පත්වෙලා. ලෝකයේ රටවල් 198 යි. රටවල් 192 ක් ම අපිට ඉදිරියෙන් ගමන් කරනවා. අදටත් පිට රටකින් හිඟමනක් ලැබුණාම අපි ඒ හිඟමන ඉල්ලගෙන ආව නායකයාව පොරක් කරලා කථා කරනවා. මිතුරනේ ..අපිට වැරදුණේ ගොඩක් කලින් තමයි..මේ වෙලාවේ පත්වෙන නායකයට හිඟමන් ඉල්ලන්න වෙන එක නවත්වන්න බැරි තරමට අපි බංකොලොත් තමයි.

හැබැයි හිඟමන් ලැබුණාම සතුටු වෙන්න එපා. අපි සම්පත් සපිරි සුපිරි රටක්. ආර්ථිකය වසර ගණනක් තිස්සේ අවකලමනාකරණය කරපු එකක්. රට ඇතුලේ ඉන්න ගොඩක් දෙනෙකුට ලෝකය පේනවා අඩුයි. ඒ නිසාම හැමදාම ලෝකෙන් ණය ලැබෙයි. කව්රුහරි ගෙවයි කියලා ලැබුණු ණය අවකලමනාකරණය කරපු හැමෝම..(එහෙම නොකලා නම් ඉතාම ස්වල්ප පිරිසක්) මේ සමාජයේ දේශපාලනයේ ඉන්නේ..අපිට අළුත් රටක් ඕනේ නම්. අළුත් විදියට හිතන්නම වෙනවා.පළමුව..හිඟා කෑම හා ඒ හිඟා කන දේවල් හොරකම් කරලා කොමිස් ගහලා ,අල්ලස් අරගෙන,අල්ලස් දීලා තමන් පොහොසත් වන එක වීරකමක් නෙවෙයි කියන එක ජානගත වෙච්ච ජාතියක් අපට ඕන. දෙවනුව නිදහස් ආර්ථිකයක තිබෙන අවස්ථා තේරුම් ගන්න වෙනවා. වාතය ,ජලය ,හිරු එලිය පවා ආර්ථික භාණ්ඩ ලෙස සැලකිය යුතු ආර්ථික ක්‍රමයක්. ස්වභාවික සම්පත් වල තක්සේරුවක් හා නිදහස් ආර්ථිකයක්. වැඩකරන ජාතියක්..වැඩ දන්නා ජාතියක්.මේ දේවල් අවශ්‍යයි. වැඩකරන විරුවෙක් ගෙනවිත් වැඩකරවා ගන්න එක නොව තම තමන් වැඩකරන රටක්. හැමෝම තමන්ගේ කොටස කරන රටක්.

අද ගොඩක් දෙනෙකුට රනිල් ලොකු ක්‍රියාශීලි මිනිසෙක්. එය සත්‍යයක්. ඒ මෙතෙක් හිටපු පාලනයට, ඊට පෙර පාලනයට සාපේක්ෂව. ඔවුන් ට තමන්ගේ තනතුරේ භූමිකාව වැටහුණේ නැති නිසා, ඒ භූමිකාව වටහාගත් මිනිසෙක් කරන වැඩකොටස වීර කමක්. මිතුරනේ.. ඕනෑම නායකයකු විරුද්ධ වාදීන්ගෙන් ආරක්ෂා විය යුතුයි. හැබැයි හේතුවක් නැතිව, තමන්ට සිහින තිබුණු පලියට ඔසවා තබන්න එපා. 69 ලක්ෂයක් එහෙම හීන දැක්කා… ගෝටා සුන්දර රටක් වෙනුවට දුකින් පිරි රටක් බිහි කළා. දැනට ඇති ලෝක අර්බුධ හමුවේ අපිට තවත් කාලය දුෂ්කරයි. එකමදේ අපි තනිතනිව තමන්ගේ කොටස කළ යුතු වීම. එතනදී අපි වගේ මිලියන 22 ක් තමන්ගේ කොටස කරනකොට…. දේශපාලනය අදාලද නැද්ද නැහැ.. අරගලයෙන් රාජපක්ෂලා හාන්සි කරා වගේ තමයි.. ආර්ථික අරගලයෙන් නැගිටිය හැකියි. හැබැයි අපි හැමෝටම අපේ මව්බිම වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරපු වගකීමක් තිබෙනවා. පක්ෂ පාට අමතක කරපු වගකීමක් තිබෙනවා..ඒ වගකීම ගැන අනුන්ට අවලාද නොකියා තමන් එක පැයක් දිනකට වැය කලොත්…පලදායි වෙනවාමයි.

(නීතිවේදී සුභාෂිණි විෆ්ලර්)
විධායක අධ්‍යක්ෂිකා ශ්‍රී ලංකාවේ දේශපාලනික,ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය.
Exit mobile version