හිටපු ගුවන් හමුදාධිපතිගේ නොසැලකිල්ලෙන් ඩොලර් මිලියන 2.8 ක් මහජනතාවට පාඩු කරලා!

එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අර්බුදය කළමනාකරණයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිසි සාක්ෂි සැපැයීම නොසළකා හැරීම නිසා සිදුවූ ඩොලර් මිලියන ගණනක අලාභයක් පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව හෙළිදරව් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද නවතම විගණන වාර්තාව තවදුරටත් හෙළිදරව් කර ඇත්තේ, 2021 මැයි 21 සිට අගෝස්තු 19 දක්වා කාලය තුළ අදාළ කටයුත්ත වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් වෙන්කරන ලද ඩොලර් මිලියන 2.8කට ආසන්න වන්දි මුදල තවමත් ප්‍රතිපූරණය කර නොමැති බවයි.

මෙම මුදලට ඩොලර් මිලියන 1.1ක පමණ අමතර අවදානම් දීමනාවක් ද ඇතුළත් වන අතර එය ගුවන් හමුදාව විසින් ප්‍රමාණවත් සාක්ෂි නොසැපයීම හේතුවෙන් ගෙවා නොමැති බව වාර්තාව අනාවරණ කරයි.

ජාතික විගණන කාර්යාලය විසින් තවදුරටත් අනාවරණ කරන ලද පරිදි, අවශ්‍ය සාක්ෂි සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් වන්දි ගෙවීමට වගකිව යුතු පාර්ශ්වයන්, අත්‍යවශ්‍යයෙන් ගෙවියයුතු ගෙවීම්ද ප්‍රතික්ෂේප කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ලැබිය යුතු මුළු මුදලම ශ්‍රී ලංකා රජයට අහිමි වී ඇත.

විනාශ වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි නිවීමට සහ ඉන් අනතුරුව අපවිත්‍ර වූ වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාදුන් දායකත්වය පිළිබඳ අවස්ථා ගණනාවකදීම නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 3.4ක මුදලක් ඉල්ලා ඇති බවත් වාර්තාවේ සඳහන් කර ඇත.

කෙසේවෙතත්, අවදානම් දීමනාව සඳහා ගුවන් හමුදාවේ ඉල්ලීම ඉටුකිරීමට අදාළ නැව් රක්ෂණ සමාගම අකමැත්ත පළකර තිබිණි.

ඊට හේතුවී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි සහිතව හිමිකම් පෑම සනාථ කිරීමට අපොහොසත් වීම බව අනාවරණ වී තිබේ.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ, එම මුදල තවමත් ලැබී නොමැති බව පිළිගත් නමුත්, එම වියදම් ආපසු ගෙවිය යුත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නොව භාණ්ඩාගාරයට බව පැහැදිළි කර ඇත.

වියදම් අයකර ගැනීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරන ලද අතර ගිනි නිවීම සහ ඒ ආශ්‍රිත අනෙකුත් කාර්යයන් සඳහා ගුවන් හමුදාව දරන ලද වියදම් රටේ සමස්ත වන්දි පැකේජයට ඇතුළත් කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

මෙම ගැටලුව විසඳීම සඳහා රජය විසින් සිංගප්පූරුවේදී නීතිමය ක්‍රියාමාර්ග ගෙන , දැනට නඩුව විභාග වෙමින් පවතින බවත් නඩුව අවසන් වූ පසු, ප්‍රතිඵලය අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා වියදම් ද භාණ්ඩාගාරයට ආපසු ලැබෙනු ඇති බවත් ,ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.(Sunday Morning)

Exit mobile version