ජනතාව අරගලයකට පෙරලුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොව. ඔහු විසින් විශ්වාස බව සිතාගෙන ඔහුගෙන් ලකුණු දමාගැනීමට කටයුතු කල හමුදා, පොලිස්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් කිහිප දෙනෙකු බව නොරහසකි. ඔවුන්ගේ ජරා ජීර්ණ ක්‍රියාවන් ජනාධිපති ගෙදර යැවීම දක්වා ජනතා උද්ඝෝෂණ වැඩි වීමට හේතු විය.
විශේෂයෙන්ම මිරිහානේදී නිරායුධ මිනිසුන්ට පහර දීමෙන් මෙම අරගලය ආරම්භ වූ බව අමතක නොකළ යුතුය. ඉන් අනතුරුව ආණ්ඩුවේම් සමහර සට්ටැබී රාළාලාගේ නින්දිත වැඩ වලින් ජනාධිපතිගේ තත්වය දිගින් දිගටම විනාශ විය. ජනාධිපති පමණක් නොව රටද සම්පූර්ණයෙන්ම විනාශ විය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට බලය පවරා නිහඩව සිටීමට ගත් සෑම තීරණයක්ම ආපසු හැරවීමට කටයුතු කලේ මේ සට්ටැබියන්ය. නායකයාගේ නැට්ටේ ඊල්ලි සිටින ඔවුන්ට නොතේරන දේ නම් නායකයා යෙහෙන් සිටියහොත් පමණක් තමන්ගේ පැවැත්ම ස්ථීර වන බවයි. නමුත් ඔවුන් දිගටම කලේ රටත් ජනතාවත් කෝප ගන්වා, ජනාධිපතිත් නින්දාවට ලක් කර ජනාධිපතිගේ ආරක්ෂාව යටතේම සිටීමටයි. අපට පෙනෙන ආකාරයට නම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මේ වන විට ගිරයට අසු වූ පුවක් ගෙඩිය සේ වී ඇත.
මේ අතර අද උදයවරුවේ තිබු එක්තරා ආරක්ෂක රැස්වීමකදී යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකු හෙට කොළඹට පැමිණෙන ජනතාවට මෙන්ම ඔවුන්ට පහරදීම් සිදුකරන මාධ්‍යවේදීන්ටද පහර දීමට නියෝග කර තිබේ.
ඔහු පැහැදිලිවම “ බැරියර් වලට අත තැබුවොත් ඇගිලි කැඩෙන්න නෙවෙයි, කුදුවෙලාම යන්න ගහන්න. වීඩියෝ කරන මාධ්‍යවේදීන්ටත් කුඩුවෙන්නම ගහන්න. කැමරා කුඩු කරන්න” ලෙස පවසා තිබේ. එසේ පැවසූ බව තහවුරු කිරීම සදහා අවශ්‍ය සාක්ෂිය අප වෙත් ලැබී තිබේ.
එසේම තහවුරු නොකළ වාර්තා වලට අනුව එම නිලධරියා විසින්ම පොලිස් ස්ථාන කිහිපයකටම පහර දීම සඳහා ද වෙනම කණ්ඩායමක් යොදවා තිබේ. නමුත් එම පුවත අප විසින් තහවුරු කර නැත. කෙසේ වෙතත් හමුදා නිලධාරියාගේ එම නියෝගයට යුධ හමුදාව අතුලින්ම දැඩි විරෝධයක් ගොඩ නැගී තිබේ.
අදාළ මේජර් ජනරාල්වරයා වෙනුවනේ අපට ලියන්නට තිබෙන්නේ, ඔබගේ වැරදි නියෝගය ක්‍රියාත්මක කරන හමුදා භටයන්ගේ ප්‍රශ්න වලට ඔබ පෙනී සිටියත් වැරදි නියෝගය ලබා දුන් ඔබත් එසේ කරන භටයනුත් අමාරුවේ වැටෙන්නේ දුර දිග නොබලා සිදුකරන දේවල් නිසාමය. නමුත් ජනතාව ඇතුලට කඩා වැදුනොත් කල යුත්තේ කුමක්ද යන්න අපට ලිවිය නොහැක. නමුත් එම හමුදා නිලධාරියාගේ ප්‍රකාශය මතම එසේ සිදු වුවොත් අමාරුවේ වැටෙන්නේ යුධ හමුදාපති වේ. පුංචි එවුන් දමා ආරවුල් ඇතිකිරීමට කටයුතු කිරීම කිසි සේත්ම අනුමත නොකරන අතර ආරක්ෂක අංශ සිතනා තරම් ලේසියෙන් ඔබ විසින්ම ඇති කරනු ලබන ප්‍රශ්න වලින් ගල වී යාමට ලෙහෙසි නොවනු ඇත.
එසේම අපට ලැබී තිබෙන නිශ්චිත තොරතුරුවලට අනුව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් හෙට සිදුවන අරගලයෙන් ශ්‍රී ලාංකිකයන් සුරක්ෂා කරන ලෙස තානාපතිවරුන්ට පවා දැනුම් දී තිබේ. එබැවින් අදාළ මේජර් ජනරාල්වරයා පවා සුරක්ෂා විය යුතුය . ලිදේ සිටිනා ගෙම්බන් වැනි වූ හමුදා නායකයන් බහුතරයක් යුධ මානසිකත්වයෙන් මේ අරගලයන් දෙස බැලීමේ විපාකය විදින්නට වන්නේ ඔවුන්ටම තනියමය. අපට හැකියාව තිබෙන්නේ ලිවීම පමණි. ඉන් ආරක්ෂා වේම සහ ඉදිරිකටයුතු සිදුකිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. කුඩුවෙන්න ගහන්න ගිහින්, ආපිට වදින පහරවල් වලින් තමන්ටද කුඩුවෙන්න වදින විට, තමන් තනිවන බව අප්මතක නොකරන්න. කුරුනෑගල යග්ගපිටියේ හමුදා නිලධාරියා බේරා ගැනීමට දැන් කවුරුත් නැතිව සේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කල යුත්තේ බුද්ධියෙන් බව අමතක නොකරන්න.
මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩුකර පහ්හර දීමට සැරසීමට පෙර , වර්තමානයේ තාක්ෂනය ඊටත් වඩා දියුණු බව මතකයේ තබාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව අරගලය දෙස වෛරයෙන් බලන, ජනාධිපතිගේ ජීවිතය පවා අනතුරේ හෙලීමට කටයුතු කර තිබෙන සට්ටැඹි රාළලාට මතක කර සිටිමු.