ළමුන් අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට සැලසුම්

කොවිඩ් හමුවේ වසා දැමුනු පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයකින් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පවත්නා වාතාවරණය සැලකිල්ලට ගනිමින් ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් පළමුව විවෘත කිරීමට රටය සැලසුම් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඔක්තෝබර් මස වන විට ෆයිසර් එන්නත් මාත්‍රා  ලක්ෂ 40ක් ලැබීමට නියමිත අතර එම එන්නත් සුදුසු අයුරින් පාසල් ළමුන්ට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවය.

එසේම, ඔහු සඳහන් කළේ විශේෂ අවශ්‍යතා පවතින දඑරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

 මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරන්නේ පාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සම්බන්ධයෙන් හදිසි තීරණ නොගත යුතු බවත් කොවිඩ් වෛරසය මර්දනයට මේ වන විට හඳුන්වා දී ඇති එන්නත් පිළිබඳව විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඒවා ළමුන්ට ලබාදීමට පියවර ගතයුතු බවත් ය.

Exit mobile version