ළමුන් අතර ලාදුරු රෝගයේ වර්ධනයක් .

දරුවන් අතර ලාදුරු රෝගය තුරන් කිරීමට නම් දරුවන් සහිත පවුල්වල ලාදුරු රෝගී වැඩිහිටියන් නැති බවට තහවුරු කර ගත යුතු බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසා ඇති බව වාර්තා වේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, දරුවන් අතර ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා මේ වසරේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

“අපේ රටේ සාමාන්‍යයෙන් ලාදුරු රොගීන් 1,500ක් 2,000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. මෙයින් 10%ක් පමණ වයස අවුරුදු 14ට වඩා අඩු දරුවන්. සෑම වර්ෂයකම මේක වාර්තා වෙද්දි ලාදුරු තියෙන ළමයින් සොයා ගැනීමෙන් පමණක් අපිට ලාදුරු තුරන් කිරීම අපහසුයි. ළමයින්ට තවත් ළමයෙකුගෙන් ලාදුරු බෝවෙන්නේ නෑ. ළමයින්ට හැදෙන ලාදුරු 90%ක්ම බෝ නොවන ලාදුරු. ළමයින්ට බෝවෙන්නේ වැඩිහිටියන්ගෙන්. මේ වසරේ අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා, දෙමව්පියන්ගේ පැත්තෙන් හෝ පවුල්වල ලාදුරු නෑ කියන එක ගැන සැලකිලිමත් වෙන්න. එහෙම තියෙනවා නම් ඒ අය ලාදුරු පරීක්ෂාවකට ඇවිල්ලා සමේ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීම ආරම්භ කළොත් අපිට පුළුවන් ඉක්මනින් ළමයින්ට ලාදුරු බෝවීම නැති කරන්න.”

මේ අතර, පසුගිය වසරේ දී මෙරටින් ලාදුරු රෝගීන් 1,550 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 173 දෙනෙකු දරුවන් වන බවට ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලාදුරු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 315 දෙනෙකු වේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 168 දෙනෙක් ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 151 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116 දෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කර තිබේ.

Exit mobile version