පාතාලයේ ප්රබලයෙකු වන සෙල්ලප්පෙරුමගේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු යන අයගෙන් විමර්ශන බැලන්ස් කිරිමට සහ වෙනත් අංශ වලින් සැකකරු ඉල්ලා සිටීමේදී නොදී සිටීමට යැයි රුපියල් කෝටි 13ක් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියෙක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු සලිදුගෙන් ප්‍රකාශයක් ලබන සතියේ ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු බවට විමර්ශන සිදු කරන සැකකරු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය ජුලි මස 26දින ලබා දුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවට පොලිස් විශේෂ විමර්ශන අංශය මෝසමක් ගොනු කරමින් අධිකරණයට දන්වා සිටියේය .
අවශ්‍ය කාර්යාල පහසුකම් සහ ආරක්ෂාව සැකකරුට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට නියෝග කළේය .
පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝගය ප්‍රකාරව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින සෙල්ලප්පෙරුමගේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු සහ වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා සහ තෙවරාසගේ අමිල සුසිර ප්‍රනාන්දු නොහොත් පානදුර චුට්ටේ හෙවත් ටිංටිං යන අයවළුන් නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය ජුලි (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී රහස් ප්‍රකාශයක් ලබා දෙමින් දෙවන සැකකාර සෙල්ලප්පෙරුමගේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සළිදු යන අය රහස් ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බවට ප්‍රකාශ කර තිබේ.
තමන් රඳවා සිටින අංශයේ සිටින මෙම පොලිස් නිලධාරියා තමාගෙන් මුදල් ඉල්ලූ බවට ඔහු සිය ප්‍රකාශය මගින් දක්වා ඇති අතර ඒ බව තමන් රඳවා සිටින අංශය භාර ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කළ බවත් එහිදී පොලිස් නිලධාරියෙක් තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවත් සෙල්ලප්පෙරුමගේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සළිදු එම රහස් ප්‍රකාශය මගින් මහේස්ත්රාත්වරයාට දන්වා තිබේ.