අම්බානිගේ මගුලට උයන්න ලංකාවෙන් 13ක් ගිහින්.

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant  Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද(07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ .

ඔවුන් ” සිට්‍රස් ” ( Citrus ) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ ” සිලෝන් කරි ක්ල්බ් ” ( Ceylon Curry Club ) අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි .

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි . මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන , නවතම ක්‍රම වලට පිළියෙල කර පිරිනැමීම මෙම  අවන්හල තුළ දී සිදු කර ගෙන ගොස් තිබුණි . මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ .

මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර , ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර , පැසසුම්  මත තවත් අතිරේක දිනයක් ලෙස 04 වැනි දින ද එම උත්සවයේ රාත්‍රී  ආහාර ද පිළියෙල කිරීමේ වගකීම සහ අවස්ථාව අප ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට හිමි වී තිබුණි .

 මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ” ජාම් ” නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පවත්වා තිබේ .

මෙම විවාහ මංගල උත්සවයට ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට අමතරව එංගලන්තය , ඩුබායි , චීනය සහ ඉන්දියාවේ සූපවේදීන් කණ්ඩායම් ද කැදවා තිබුණි .

ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන මෙම සූපවේදීන් පිරිස අද උදෑසන 06.20 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු බව සදහන්.

Exit mobile version