දෙසැම්බර් මාසයෙන් පසු ඇතැම් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් සියයට විස්සක් තුන් මාසයක කාලයක් දක්වා වසා තැබීමට තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පවසා ඇති බව වාර්තා වේ.
මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කම්හල්වලින් සියයට පනහක් පමණ වසා දමා ඇති බවද ඔහු කියා සිටී.
එසේම ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අවම වීම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ආයෝජකයන්ගේ ආදායම මේ වන විට 25%කින් පමණ පහත වැටී ඇතැයි ද ඔහු පවසයි. මේ තත්ත්වය මත ඇතැම් දේශීය ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින්නේ යැයිද ඔහු කියා සිටී.
ඇතැම් ආයෝජකයන් සේවකයන්ට වන්දි ලබා දී සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර මේ වන විට මහා පරිමාණ ආයතන 10ක පමණ එලෙස වන්දි ගෙවා සේවකයන් ඉවත් කර ඇතැයි හෙතම පැවැසීය.
මේ අතර ඇතැම් ආයතන හිමිකරුවන් සිය සේවකයන්ට පූර්ණ හෝ අර්ධ වැටුපක් ලබා දී ඔවුන් නිවෙස්වල රඳවා ඇති අතර ඇතැම් කම්හල් සතියකට දින 4ක් පමණක් නිෂ්පාදන කටයුතු සිදු කරන බවද සභාපතිවරයා පවසා තිබේ.
බොහෝ රටවල් ඉතා අඩු මිලට සේවා සැපයීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට වෙනත් රටවල් සමග තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර ඇණවුම් අවම වීමට අමතරව විදුලි බිල ඇතුළු වෙනත් පිරිවැය විශාල ලෙස ඉහළ ගියද එයට සරිලන මිලක් නොලැබීම ආයෝජකයන්ගේ ආදායම පහත වැටීමට හේතුවක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.