3000ක විදුලි බිල නිසා එක්දරු මව ජීවිතයෙන් වන්දි ගෙවයි.

පුත්තලම පුලිදිවාසල ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුලිදිවාසල ප්‍රදේශයේ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නැමති 38 හැවිරිදි එක් දරු මවකි.

අදාළ කාන්තාව පදිංචි නිවසේ රුපියල් 3,000ක විදුලි බිල ගෙවා දැමීමට නොහැකි වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් එය විසන්ධි කර තිබේ.

මියගිය කාන්තාව සහ ඇගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිතය ගතකර ඇති අතර, වැසි තත්ත්වය හේතුවෙන් ඔවුන්ට දෛනික ආදායම අහිමිවී යෑමෙන් විදුලි බිල ද ගෙවා ගැනීමට නොහැකි වී ඇත.

එවන් පසුබිමක් තුළ ඊයේ (07) මියගිය කාන්තාවට අසල නිවසකින් කුලී වැඩක් ලැබී එයට ගොස් නිවසට පැමිණ ඇති අතර, ඇය පසුව ස්නානය කිරීමට ගොස් තිබේ.

මීටර් කිහිපයක් දුරින් වූ මවගේ නිවසෙන් විදුලි වයරයක් තම ඉඩමේ ඇති විදුලි මෝටරයට සවිකර ඉන් ජලය පුරවා ගෙන ඇති අතර, එලෙස ජලය පිරවීමට යෑමේ දී අදාළ කාන්තාවට විදුලි සැර වැදී ඇත.

මියගිය කාන්තාව මවගේ නිවසේ ස්විචයට වයර් සවිකර අනෙක් කොටස රැගෙන යමින් සිටිය දී වැසි ජලයේ ස්පර්ශ වීමත් සමගම ඇයට විදුලි සැර වැදී තිබූ බව සදහන්.

විදුලි සැර වැදී බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාව කඩිනමින් පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඇය මරණයට පත්ව සිට ඇත.

කෙසේවෙතත් මරණයට පත් කාන්තාවගේ දේහය ඇය පදිංචි නිවසට රැගෙන ඒමට පෙර ප්‍රදේශවාසීන් විසින් අදාළ හිඟ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව ඊයේ (07) රාත්‍රිය වන විට මියගිය කාන්තාවගේ නිවසට විදුලිය ලබාදීමට විදුලිබල සේවකයින් කටයුතු කර තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ, ජනතාවට මේ වනවිට විදුලි බිල දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබීම බොහෝ ජීවන ගැටලු මතුකර ඇති බවයි.

කෙසේවෙතත් මේ සියල්ල හමුවේ විදුලි බිල ගෙවා ගැනීමට අපොහොසත් වීම තුළින් කුඩා දරුවෙක්ට තම මව අහිමිව යෑම ඛේදනීය තත්ත්වයකි.

Exit mobile version