එකම ප්‍රදේශයේ දරුවන් 5 ක් , එකම පාසලේ දරුවන් 4 දෙනෙක් මාස 6 ක් ඇතුළත සිය දිවි හානිකරගෙන .

බලන්ගොඩ, වැලිගෙපොල ර/ වළගම්බා විද්‍යාලයේ ඉගෙනගත් සහ ඉගෙන ගනිමින් සිටි දරුවන් 4 දෙනෙකු සහ එම ප්‍රදේශයේ තවත් පාසලක උගත් තවත් තරුණියක් සමග 5 දෙනෙකු මාස 6 ක් ඇතුළත සිය දිවි නසාගෙන තිබේ. ඔවුන් සියල්ලෝම වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විවිධ වයස් කාණ්ඩවලට අයත් දරුවන් වේ. එම ඛේදනීය තත්වයට හේතුව සොයා අප වැලිගෙපොල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

එහිදී අපට අනාවරණය වන්නේ කොන්ගස්තැන්න සඳගනාගම පාසල් දරුවෙකු, වැලිගෙපොල , අම්බැවිල බදුල්ලේගම නමැති ප්‍රදේශයක වයස අවුරුදු 19 ක පමණ තරුණියක්, එම තරුණියගේ පෙම්වතා වන වැලිගෙපොල ප්‍රදේශයේ තරුණයෙකුද, වැලිගෙපොල ඌරාවල ප්‍රදේශයේ පාසල් පිරිමි දරුවෙක්ද, එම පිරිමි දරුවා සිය දිවි හානි කරගත් පසු එම පෙම්වතියගේ හොදම යෙහෙලියද සිය දිවි හානිකරගෙන තිබේ. ඇයගේ අවසන් කටයුතු සිදුකරනුයේ අප ලිපිය සකසන දිනමය.

එසේ සිය දිවි හානිකරගත් පිරිමි දරුවාගේ පෙම්වතිය ද වැලිගෙපොල ර/වළගම්බා විද්‍යාලයෙන් ඉවත්කර තිබෙන බවට ද අපට තොරතුරු ලැබුණු නමුත් එය තහවුරු කරගැනීම සදහා එම දියණියගේ නිවස සොයාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට අප අපොහොසත් විය. ඒ අනුව 5 ස් දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති අතර තවත් එක් දියණියකගේ සමස්ත අනාගතයම අදුරු කිරීමට අවශ්‍ය පරිසරය වැලිගෙපොල වලගම්බා විද්‍යාලයේ පරිපාලනය කටයුතු කර තිබේ. ( එම දියණිය පාසලෙන් ඉවත්කර නොමැති නම් මෙම චෝදනාව නොසලකා හරින්න)

ඔවුන් හතර දෙනෙකු සිය දිවි හානිකරගැනීමට හේතුන් අප සොයා ගත් නමුත් අවසන් වශයෙන් සිය දිවි හානිකරගත් පාසල් දියණිය මිය ගිය හේතුව සොයාගැනීමට අපොහොසත් විය. නමුත් ඇය මියගොස් තිබෙන්නේ තම ජංගම දුරකථනය සහ සිම් කාඩ් පතද විනාශ කරමින් බවටද, විවිධ කට කතා ප්‍රදේශය තුළ රැව් පිළිරැව් දුන්නේය. මිය ගිය දරුවන් මිය ගිය හේතුවට වග කිව යුත්තේ දරුවන් නොවේ. එබැවින් අප ඔවුන්ට කිසි ලෙසකින්වත් දොස් තබන්නේ නැත. ඔවුන් මිය යාමේ හේතුවට වගකිව යුතු වන්නේ ඔවුන්ගේ දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම ඔවුන්ට ඉගැන්වූ පාසල් ගුරුවරුන්ය. 21 වන සියවසට ගැලපෙන ලෙස නොසිතන ගුරුවරුන් මෙන්ම දෙමාපියන් වර්තමාන ශ්‍රී ලංකාවේ සමස්ත විනාශයේම වග උත්තරකරුවන් වේ.

අප මීට පෙර වැලිගෙපොල හටන්ගල විද්‍යාලයේ දියණියන් අපයෝජනය වූ සිද්ධියක් වාර්තා කළ නමුත් වැලිගෙපොල පොලිස් ස්ථානය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීය. ඉන් අනතුරුව සිදු වූ ප්‍රශ්නවලට මැදිහත්කරුවෙකු ලෙස අප මාධ්‍ය ආයතනයක් ලෙස එම පොලීසියේ පැමිණිල්ලක් යෙදු නමුත් මාස තුනක් පමණ ගතවීත් තවමත් එම පැමිණිල්ල විභාග කිරීමට වැලිගෙපොල පොලීසිය අසමත්ව සිටී. එහිදී ද සිය දිවි හානිකරගැනීමට ගිය එක දියණියක් බේරා ගැනීමට අපට හැකි වූ නමුත් එම පාසලේ සිදුවන අපයෝජන කිසිවක් නැවතී නැත.

හටන්ගල දහම් පාසලේද එසේමය. අපගේ එම ගවේෂණයේදී ලිංගිකව අපයෝජනය වූ දියණියක්ද සොයා ගත්තේය. ඒ හටන්ගල විද්‍යාලය තුලදී, එහි නියෝජ්‍ය විදුහල්පති විසින් එම ලිංගික අපයෝජනය සිදුකර තිබුණි.

වැලිගෙපොල කලාපය තුළ සමහර විදුහල්පතිවරුන් උදැසන සිටම අරක්කුවලින් මුසපත් වී සිටිති. සමහර ගුරුවරුන් ප්‍රාථමික ශ්‍රේණිවලට ඉගැන්වීමට ඉගෙනගෙන නැත. සමහර දුෂිත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තමන්ගේ වැරදි වසා ගැනීමට තමන්ට හිතවත් දෙමාපියන් භාවිතා කරති. යම් වරදක් පෙන්වා දෙන දෙමාපියන්ට එරෙහිව මහජනතාව එක් රොක් කරන්නේද ගුරුවරුන්මය.

අවසානයේ තමන්ටත් නොදැනීම තමන්ගේ දරුවන් විනාශවන බව බොහෝ දෙමාපියන්ට නොතේරේ. එම දෙමාපියන් බොහෝ විට පිරිසිදු මනසක් තිබෙන්නා වූ පුද්ගලයන් වන අතර දුෂිත ගුරුන්ගේ ප්‍රකාශ ඔවුන් විශ්වාස කරති. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ පාසල්වල දෙමාපියන් විවිධ කල්ලිවලට බෙදී සිටිති.

ඔවුන් තම තමන්ගේ දරුවන් වෙනුවෙන් පමණක් දුෂිත පුද්ගලයන් වෙනුවෙන් කඩේ ගියත්, ඔවුන් නොදන්නා කරුණු දැනගන්නා විට බොහෝ “කෝච්චි” යන්නට ගොස්ය. එසේම දුෂිත දරුපරපුරක්ද ඔවුන් සමාජයට දායාද කරන අතර මේ සියලුම කණ්ඩායම්වල දෙමාපියන්ගේ දරුවන් අතරද අනාගතයේ ගැටුම් නිර්මාණය වේ.

බොහෝ පාසල්වල පවතින සැබෑ තත්වයන් නිසි ලෙස හදුනා ගත්තත් ඒවාට එරෙහිව කටයුතු සිදු නොවේ. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය දක්වාම විවිධ සබදකම් ගොඩනගාගෙන, ඒවා හරහා දේශපාලන බේදයකින් තොරව ඔවුන්ට තිබෙන චෝදනා ආවරනය කරගැනීමට ඔවුන් සමත්ව තිබෙන බැවිනි. ඒවා විසදාගෙන පීඩිත මිනිසුන්ට එරෙහිව තමන්ගේ දුෂණයන් වසා ගැනීමට ඔවුන් එකට පෙළගැසෙති. ඉන් තව තවත් පීඩා විදින්නේ පිදිත්යාම වේ. එයට හොදම උදාහරණ වන්නේ අප පසුගිය දිනයක කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවෙකුගේ කන පැලු ගුරුවරයා වෙනුවෙන් ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා පෙනී සිටීමයි.

එවැනිම තවත් සිද්ධියක් අප වාර්තා කළේ මාතලේ ප්‍රදේශයෙනි. එහිදී සිදු වුයේද එම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියගේ නිවස ආසන්නයේ සිටින, දරුවන් තිදෙනකුට පහර දුන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා බේරාගැනීමට කටයුතු කිරීමයි.

සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ සබරගමුවේ ගුරු මාරු ක්‍රමය දේශපාලන හේතුන් නිසා නැවතී තිබෙන බවයි. ඉන් ඔහු නොකිය ප්‍රකාශ කරන්නේ සබරගමුවේ අධ්‍යාපනයද දේශපාලනීකරණය වී තිබෙන බවයි. ගුරුවරුන් දේශපාලනීකරණය වී තිබෙන්නේ නම් අධ්‍යාපනයද එසේ වීම සාමාන්‍ය දෙයකි.

ගුරුවරුන් ඉගැන්වීම වෙනුවට කරනුයේ තමන්ගේ දේශපාලන පක්ෂය බලයට ගෙන ඒමට දරුවන් සහ දෙමාපියන් භාවිතා කරන බවයි. සබරගමු පළාතේ අධ්‍යාපනය ඒ ආකාරයෙන් දේශපාලනීකරණය කරනු ලැබූ එකල අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරියද එම අවස්ථාවේ සිටි අතර ඔහු වර්තමාන පළාත් ලේකම්වරයාය. ඔහු මේ වන විටත් සිදුකරනුයේ දේශපාලන ක්‍රීඩාවකි.

මෙම මිය ගිය බොහෝ දරුවන්ට සේම ඉදිරියේදී මිය යාමට සිටිනබොහෝ දරුවන්ද මනා පෞරුෂත්වයක් නොමැති දරුවන්ය. ඔවුන්ගේ පෞරුෂත්වය සැකසිය යුත්තේ නිවසින්, පරිසරයෙන් සහ පාසලෙන්ය. ඒ වෙනුවෙන් මෙම කොටස් තුනම කැපවිය යුතුය. අප ඉහත කෙටියෙන් සටහන් කර තිබෙන සිද්ධීන් හා සමාන සිද්ධීන් වැලිගෙපොල කලාපයේ දරුවන් සිය දිවි හානි කරගැනීම පිටුපස තිබේ.

වැලිගෙපොල කලාපය තුළ පමණක් නොව සමස්ත ලංකාවේම තත්වය එසේ වන නමුත් මෙම කලාපයේ තත්වයේ ප්‍රතිපල තම තමන්ටම බලාගත හැකිව තිබේ. එබැවින් සමස්ත ලංකාවෙන්ම මෙම දුෂිත ක්‍රමය පලවා හැරිය යුතුව තිබේ. එය එසේ නොවන බැවින් තම තමන්ගේ දූ දරුවන් මෙම දුෂිත ක්‍රමයෙන් බේරාගැනීම සියලුම දෙමාපියන්ගේත්, මානව හිතවාදී ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ වගකීම වේ.

එබැවින්, ඔබේ දරුවෙකුට යම් අකටයුත්තක් සිදුවන්නේ නම්, එය අපට දන්වන්න. ඔබේ දරුවන්ගේ යුක්තිය වෙනුවෙන් අප පෙනී සිටින්නෙමු. ඕනෑම වයසක දරුවෙකුට, තරුණයෙකුට සිදුවන එක කුඩා අසාධාරණයත් ඔවුන්ගේ සමස්ත ජීවිතයම විනාශය කරා ගෙන යා හැකි බව සියලුම දෙමාපියන් වටහා ගත යුතුය.

Exit mobile version