දූත මණ්ඩල දෙකක කෝටි 5ක් වතුරේ ගිහින්.

රජයට අයත් ගොඩනැගිලි තිබියදී විදේශ දූත මණ්ඩල දෙකක් සඳහා  කුලී නිල නිවාස සඳහා රුපියල් පන් කෝටි පනස් පන් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ඕස්ට්‍රේලියාව,ස්වීඩනය  හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි පැවතියද ඒවා නඩත්තු නොකිරීම හේතුවෙන් 2022 වර්ෂයේදී මෙසේ  කුලියට නිල නිවාස ලබාගෙන ඇති බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර පිටෝරියා විදේශ දූත මණ්ඩලයේ 2014 හා 2015 වර්ෂ වලදී සිදු වූ වාහන අනතුරු දෙකක් ( පාඩුව රුපියල් හය ලක්ෂයකට වැඩිය)සහ  විදේශ දූත මණ්ඩල තුනක මුදල්  සොරකම් සම්බන්ධයෙන්  නිසියාකාරව කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම ලන්ඩන්  විදේශ දූත මණ්ඩලයේ සිදුවී ඇති රුපියල් ලක්ෂ දහයකට වැඩි සොරකමක් සම්බන්ධයෙන්ද   ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර නිලධාරීන් පිරිසක් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපාය අධ්‍යයන  ආයතනයට විධිමත්ව අනුක්ත නොකර  ඔවුන්ගේ වැටුප් ලෙස  එක්කෝටි විසි නව ලක්ෂයකට වැඩි මුදලක් 2022 වර්ෂයේදී කාර්ය පටිපාටි නීති සංග්‍රහයට පටහැනිව  ගෙවා ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 කාර්යසාධන වාර්තාවට  ඇතුළත්  කරනු ලැබ ඇති  විගණන වාර්තාවේය.

ලංකාදීප.

Exit mobile version