වෙළම්බොඩ වලගෙදර භාවනා මධ්‍යස්ථානයට ගම්මුන්ගෙන් විරෝධය!

විරෝධය පා හිමි නමක් උපවාසයේ!

පොලිසිය ගමට විශේෂ ආරක්ෂාවක් යොදවයි!

ප්‍රාදේශීය ලේකම් භාවනා මධ්‍යස්ථානය බලන්න යයි!

මහනුවර වෙළම්බොඩ පොලිස් බල ප්‍රදේශයේ වලගෙදර ගම්මානයේ මිස්ටර්හිල්ස් කඳු මුදුනේ එක්තරා භික්ෂුවක් විසින් පවත්වා ගෙන යන භාවනා මධ්‍යස්ථානයකට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී ඇති විරෝධය හේතුවෙන් එම ප්‍රදේශයේ මේ වන විට දැඩි නොසන්සුන් තාවයක් හට ගෙන ඇත .

මෙම භාවනා මධ්‍යස්ථානයේ සිදු කෙරෙන කටයුතු පිළිබඳව සැක පල කරන ගම්වාසීන් හා අවට ගම්මාන වල පැරණි පන්සල් හා පිරිවෙන් වල භික්ෂුන් වහන්සේ මේ වන විට එම විරෝධතා වලට එක් වීම හේතුවෙන් තත්ත්වය බරපතළ වී ඇති අතර ලබුවැලිපොල පිරිවෙනේ හිමි නමක් එම භාවනා මධ්‍යස්ථානයට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබේ .

වලගෙදර,නිකහැටිය,වට්ටප්පොල,වෙම්බ්ලිවත්ත,පරනපට්ටිය ,තෙලබුගල,ඇතුළු ගම්මාන රැසක ගම්වාසීන් හා භික්ෂුන් වහන්සේ මෙම විරෝධතා සදහා එක් වී ඇති බවයි ගම් වාසීන් පවසන්නේ .

මේ වන විට යම් ගැටුම් කාරී තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සදහා වෙළම්බොඩ පොලිසිය විසින් එම ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව එම පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවැසීය .

මෙම භාවනා මධ්‍යස්ථානයේ කටයුතු සැක සහිත බව පවසන ගම්වැසියන් දීර්ඝ කාලයක් ඒ සදහා විරෝධය පල කරන බවද පසුගිය කාලයේ ඇති වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය .

ගම් වාසින් චෝදනා කරන්නේ එම භාවනා මධ්‍යස්ථානයේ කටයුතු සැක සහිත බවයි .අවට පන්සල් වල පොහෝ දින ආගමික කටයුතු වලට බාධා කරමින් පොලිස් හදිසි ඇමතුම් අංකයයට ඇමතුම් ලබා දී එම කටයුතු වලට බාධා කිරීමට භාවනා මධ්‍යස්ථානයේ භාරකාර හිමි නම කටයුතු කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ .පසුගිය පොසොන් ආගමික කටයුතු වලට පවා මේ හේතුවෙන් බාධා සිදු වූ බවද ඔවුන් පවසති .

අද 09 පෙරවරුවේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නියෝජිතයන් ද මෙම ස්ථානයට පැමිණීමට නියමිත අතර ප්‍රදේශ වාසින් හා භාවනා මධ්‍යස්ථානය භාර හිමි නම අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුල විසඳීම සදහා මැදිහත් වීමට නියමිතය.

සරත් සමරනායක.

Exit mobile version