ජාතික පාසල් 54කට විදුහල්පතිවරුන් තවම නෑ .

සම්මුඛ පරීක්ෂණ පවත්වා මාස තුනක පමණ කාලයක් ගත වී ඇතත් කොළඹ රාජකීය ඇතුළු ජාතික පාසල් පනස් හතරකට නව විදුහල්පතිවරුන් පත් කිරීම තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

තෝරා ගත් සුදුස්සන්ගේ ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට යවා තිබූ අතර එම ලේඛනය අසම්පූර්ණ හෙයින් යළිත් අමාත්‍යාංශය වෙත යැවූ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන සේවා කමිටු නිලධාරියෙක් කීවේය. ලේඛනය සම්පූර්ණ වූයේ නම් මේ වන විට අනුමැතිය ලබාදීමට හැකිව තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ස්ථිර විදුහල්පතිවරුන් නොමැති වීම නිසා එම පාසල්වල පරිපාලන කටයුතු අඩාළ වී තිබේ. ඒවායේ කටයුතු කරන්නේ වැඩබලන විදුහල්පතිවරු හෙයින් ඇතැම් අවස්ථාවලදී නිසි තීන්දු ගෙන කටයුතු කිරීමට ඔවුන් මැළිවන බව එම පාසල් ආරංචි මාර්ග කීවේය.

ජාතික පාසල් හැත්තෑ හතරකට විදුහල්පතිවරුන් පත්කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කළ අයැදුම්පත් කැඳවීම අනුව අයැදුම් කර තිබුණේ පාසල් පනස් හතරකට පමණි.

Exit mobile version