76 වැනි නිදහස් දිනය අදයි.

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත ව ඇති බව වාර්තා වේ.

‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීමට නියමිත බව සදහන්.

මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙනු ඇති.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීමට නියමිත බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කර තිබේ.

මීට අමතරව සැමරුම් පෙළපාලිය සඳහා ගුවන් යානා 19ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් එක්කර ඇති බවට ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

මේ අතර නිදහස් දින සැමරුම වෙනුවෙන් අද දිනයේ දී විශේෂ රථවාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

76 වැනි නිදහස් දින රාජ්‍ය උත්සවය හේතුවෙන් අද අලුයම 05.00 සිට පෙරවරු 9.00 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ අතර, ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමුකරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මෙම ගමන් මඟේ ඉදිරියට ගොස් යළි සෞභාග්‍ය උදා කර ගැනීමට නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් අප දුෂ්කර කඩඉම් පසුකරමින් සිටින බවද සඳහන් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ, නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන බවයි.

Exit mobile version