රුපියල් 14,000යේ තේ පොහොර මිටිය 8500ට.

වෙළෙඳ පොළේ රුපියල් 14,000 කට අලෙවි කෙරෙන තේ වගාව සඳහා යොදන පොහොර මිටියක් රුපියල් 8,500 ට තේ ගොවියාට ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

තේ වගාවට යොදන පොහොර මිටියක මිල ඉහළ යාම හේතුවෙන් තේ වගාකරුවන් බොහෝ දෙනකු තේ වගාවට පොහොර නොයොදන බවත් මේ නිසා තේ අක්කරයකින් වරකට නෙළා ගන්නා දලු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දක්වා අඩු වී ඇති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ. 

මෙම සාකච්ඡාවේදී තේ වගා කරුවන් රැසක් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ තේ පොහොර මිල අඩුකිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව තේ සඳහා යොදන පොහොර මිටියක මිල රුපියල් 8500 ක අඩු මිලට ලබා දීමට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් කටයුතු යොදා ඇති බව ඇමැතිවරයා පවසා තිබේ.

Exit mobile version