පාස්පෝට් හදන්න පගාව ගත්ත 9 දෙනෙක් මාට්ටු.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දීමට මුදල් ලබා ගත් තැරැව්කරුවන් නව දෙනෙකු පොලිස් බුද්ධි අංශ මඟින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම සැකකරුවන් මෙලෙස පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර හොර පාරෙන් සකස් කරන පුද්ගලයින් බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම මෙලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසට ඊයේ (18) දිනයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බුද්ධි අංශවලට නියෝග කර ඇති අතර ඒ අනුව අද (19) උදෑසන සිඳු කළ මෙහෙයුමක දී මෙලෙස  පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් සැකකරුවන් නව දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම ඉදිරියට ක්‍රියාත්මක බවත් මෙලෙස වංචනිකයන් සමඟ එකතු වී ක්‍රියා කරන අනෙකුත් නිලධාරීන් පිළිබඳව ද සොයා බලන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version