දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලය වෙත මුදාහරින පිරිස් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමග එකතුවීමට පොලීසියට හැකිවූ බවට නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසා තිබේ.
International Centre For Missing & Exploited Children ලෙස හඳුන්වනු ලබන මෙම දත්ත පද්ධතිය සමග මීට මාස දෙකකට පමණ පෙර එක්වීමට හැකිවී ඇත. මේ හරහා අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි.
අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය සමග සම්බන්ධවී අදාළ තොරතුරු හුවමාරු කරගන්නා අතර ඒ හරහා ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හඳුනාගැනීමට හැකියාව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම වසරේ ගතවූ කාලසීමාව තුළදී අන්තර්ජාලය ඔස්සේ ඇතිවන සබඳතා අනුව දරුවන් අපයෝජනයට ලක්වන සිදුවීම් 98000ක් පමණ වාර්තාවී ඇති අතර පසුගිය 2022 වසරේදී මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ 146,000 ක් බව සදහන්.