පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ නම, විපක්ෂය නියෝජනය කරමින් නම් කර තිබෙන අතර පාඨලි චම්පික රණවක මහතාගේ නම ඉවත් කර තිබේ. ඒ අනුව මුදල් – ක්‍රම සහ විධි කාරක සභා 2ටම විපක්ෂයෙන් පාඨලී නම් කර නැත. කෙසේ නමුත් ඒ මහතා ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව අප මෙයට පෙර වාර්තා කර තිබේ.
එසේම නමුත් නාලක ගොඩහේවා මහතා සමඟි ජනබලවේගය සමග එක් විය. මැතිවරණයක් ආසන්න වන විට විවිධ පිමි දක්නට ලැබීම සාමන්‍ය දෙයක් වුවත්, එම පිමි අස්සේ විවිධ කුමන්ත්‍රණ තිබෙන බව සනාත වන්නේ ටික කාලයක් ගිය පසුවය. දේශපාලන නායකයන්ද එම පනින උදවිය සිප වැළදගෙන තමන්ගේ ගොඩට දා ගත්තත් බිම් මට්ටමේ ප්‍රබල පාක්ෂිකයන් ඒවා සතුටක් කර ගත්තත්, බහුතරයක් දෙනා ඔවුන්ට ආප්‍රසාදය පළකරති.
කෙසේ වුවත් පාඨලී මෙන්ම සරත් ෆොන්සේකාද වරින් වර සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව සිටි බවද නොරහසකි. ඔවුන් අතරද විවිධ දේශපාලන මතවාද තිබේ. සරත් ෆොන්සේකා මහතා ද සමගියෙන් ඉවත්ව යාම බොහෝ දුරට සිදුවෙමින් පවතී. එය වඩාත්ම ප්‍රබලව පෙන්නුම් කලේ ජනාධිපති විමර්ශන කොමිෂමකින් පවා වැරදි කරුවෙක් බවට පත්ව සිටින හිටපු යුද්ධ හමුදාධිපති දයා රත්නායක මහතාගේ පැමිණීමත් සමගය. කනක්සන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ හොරකම් කල බවට ඔහුව වරදකරුවෙක් බවට පත්කර තිබෙන්නේ ජනාධිපති විමර්ශන කොමිෂමකිනි.
බොහෝ පිමි අස්සේ අප මෙන්ම ජනතාවද ඔවුන් දකින්නේ දෙපැත්ත කන පුද්ගලයන් නොහොත් විශ්වාස කල නොහැකි පුද්ගලයන් ලෙසය. එය පක්ෂ බේදයකින් තොරවම සමස්ත මහජනතාවම හඳුනාගෙන තිබේ. නමුත් නායකයන් සිතාගෙන සිටින්නේ ජනතාව මොකුත් නොදන්නා බවයි. අති බහුතරයක් දේශපාලන නායකයන් තවමත් දකින්නේ මීට දශක කිහිපයකට පමණ පෙර තිබුණු ආකාරයටම ජනතාව කිසිවක් නොදන්නා බවයි. ග්‍රාමීය කුඩා මිනිසුන් පවා රටේ සිදුවන සියල්ලම ඉතාම හොදින් හඳුනාගෙන සිටින්නේ නව තාක්ෂනය නිසාය. ඈත පිටිසර ගම්මානවල ඉතා කුඩාම පිරිසක් පමණක් තවමත් යන පැත්තට බෙල්ල තබාගෙන සිටි.
බොහෝ කාලයක් තිස්සේ එකම වේදිකාවක සිට, පැහැදිලි අසාධාරණයක් නොමැතිව විවිධ පක්ෂවලට මාරුවන පුද්ගලයන් නිසා තමන්ගේ පක්ෂවලට සිදුවන හානිය දෙස සියලුම දේශපාලන නායකයන් හඳුනාගෙන කටයුතු නොකිරීමෙන් සිදුවන්නේ තමන් අනාගතයේදී පිහිටුවීමට බලාපොරොත්තුවන ආණ්ඩු පිහිටුවා ගත්තත්, එම ආණ්ඩු ගන්න තීරණ පවා විපක්ෂය පුද්ගලයන්ට ලබා දීමයි. ඉන් ඔවුන්ගේ අරමුණු ජයගත්තත් මහජන බලාපොරොත්තු කඩා වැටේ. එය රනිල්ටද, සජිත්ටද, අනුරකුමාරටද, පාඨලීටද පොදුය.
පාඨලි චම්පික රණවක මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවත්, ඔහු ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් සිදුවන්නේ එයයි. අච්චාරු ආණ්ඩුවක් වෙනුවට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නම්, එහෙන් මෙහෙන් එකතුකරගන්නා ජැක්සන්ලා සමග එය කල නොහැක. චමිපික ද කල යුත්තේ අනාගත ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් කොඨිඨාශ මට්ටමින්ම නායකයන් සැකසීමයි. එය ශක්තිමත් ආණ්ඩුවක පදනම වේ.
සජිත් ප්‍රේමදාස මහතාගේද බිමේ බලය ස්ථාවරව නැත. නමුත් ඔහුගේ බුද්ධිය මත එය ඔහුට සකසා ගත හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ කොඨිඨාශ නායකයන් ශක්තිමත් වුවත්, ඒවායේ සිටින ජනතා ආකර්ෂණය ලබාගැනීමට ඔවුන්ගෙන් අති බහුතරයකට හැකියාව ලැබී නැත. රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන එක්ෂත් ජාතික පක්ෂයේ ද කොඨිඨාශ නායකයන් ශක්තිමත්ව නැත. එබැවින් බිමේ ඡන්ද බලයද ශක්තිමත් නැත. ඒ සියල්ලටම හේතුව සියලුම පක්ෂවල ප්‍රමුඛතම දේශපාලන නායකයන් රටේ මිනිසුන් දෙස බලනුයේ ඔවුන්ගේ අතීත අත්දැකීම් මතය. කොඨිඨාශවල සිටින තම කුඩා නායකයන් පවා දකින ආකාරය, සිතන ආකාරය සහ ඔවුන්ගේ බලාපොරොත්තු කෙසේද යන්න හඳුනාගැනීමට ඉහල දේශපාලන නායකයන් හඳුනාගෙන නැත.
එබැවින් බිමේ මිනිසුන්, සිතන ආකාරය , ඔවුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ට අවශ්‍ය දේ නිසි ලෙස හඳුනාගෙන, ඒවාට පිළිතුරු ලබා දීම මත රටේ ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය වනු ඇති අතර, විවිධ දේශපාලන පක්ෂවල සිට වෙනත් පක්ෂවලට ජැක් ගසනා ජැක්සන්ලා මත, කිසිඳු දේශපාලන පක්ෂයක ස්ථාවරත්වය රැකෙන්නේ නැත. ඒවා සියල්ලම නිසි ලෙස හදුනාගැනීමට දේශපාලන පක්ෂවල සිටින ඉහල පෙලේ නායකයන් ඉගෙන ගත යුතුමය.