මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා ඊයේ (18) පියවර ගත් බවට හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ඒ අනුව හෝමාගම පෞද්ගලික මල්ශාලාවක තබා පැය දෙකක කාලයක් අනියම් බිරියගේ අවසන් ගෞරව දැක්වීමටත් අනියම් බිරිය දේහය බාරදුන් පසුව විවාහක බිරිඳ භාරයේ දේහය භූමදාන කොට අවසන් ගෞරව දැක්වීමටත් හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කර තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.
මෙම පුද්ගලයා මීගහකිවුල ප්‍රදේශයේ කාන්තාවක සමග 2006 වසරේදී විවාහ වී රැකියාව වශයෙන් කලින් කලට රටපුරා තැන් තැන්වල යමින් රඹුටන් අලෙවිය ඇතුළු විවිධ ව්‍යාපාර කරමින් ජීවනෝපාය සලසාගෙන සිටින අතරතුරදි රඹුටන් අලෙවිය සඳහා හෝමාගම ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවකදී එහි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් වසර 15ක් පමණ පවත්වාගෙන ගොස් ඇති අතර ඒ බව දැනගත් විවාහක කත සැමියා අතහැර දමා දරුවන් තිදෙනා සමග ජීවත්ව ඇති බව පැවසේ.