කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ නිවසක ඊයේ (24) පෙරවරුවේ හටගත් ගින්නකින් නිවසේ සිටි පියා, දියණිය සහ තරුණයෙකු පිළිස්සී මියගොස් තිබුණි. අනතුරින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මව රෝහල්ගත කෙරුණි.
මෙම නිවසේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පෙරවරු 06 ට පමණය. එම අවස්ථාවේ මව, පියා සහ දියණිය නිවසේ රැඳී සිට ඇති අතර නිවසට පැමිණ සිටි තරුණයෙකු ද ගින්නට හසුව තිබුණි. ගින්නෙන් පියා, දියණිය සහ අදාළ තරුණයා එම ස්ථානයේදීම මිය ගිය අතර මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි
මහනුවර ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තත් ඒ වනවිටත් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන් වී තිබුණි.
එසේ ඊයේ මියගියේ 71 හැවිරිදි මුත්තතම්බි ඊස්වර දේවන්, 30 හැවිරිදි ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ බාබු නමැති තරුණයෙකි.
පොලීසිය පවසන්නේ, මියගිය ඊස්වර දේවන් චන්ද්‍රවානි සහ නිවසට පැමිණි බාබු නමැති තරුණයා අතර වසර 12ක පමණ ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවත්, එම සබඳතාව නැවැත්වීමට තරුණිය තීරණය කිරීමත් සමග වරින්වර ඔවුන් අතර ආරවුල් ඇති වී තිබෙන බවත් එම ආරවුල් පිලිබඳව වරින් වර පොලිසියට පැමිණිලි ඉදිරිපත්ව තිබෙන බවයි.
තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලීසියට පවසා ඇත්තේ, සිය දියණිය වෙනත් විවාහයකට සූදානම්ව සිටි අතර ඒ බව දැනගත් තරුණයා පෙරේදා පස්වරුවේ නිවසට පැමිණ තර්ජනය කළ බවත් අනතුරුව කෑන් එකක් ද රැගෙන ඊයේ අලුයම නිවසට පැමිණි ඔහු, සිය දියණිය සහ සැමියා නිදා සිටි කාමරයට ගොස් ගිනි තබාගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.