මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් පැවැත්වූ සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසා තිබේ.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘‘මධ්‍යම තැපැල් හුවමාරුවේ විදුලි සෝපාන හතරක් තියෙනවා. පුද්ගලයන්ගේ පාවිච්චියට දෙකක් හා භාණ්ඩ ගෙන යාම සඳහා දෙකක් වශයෙන්. පසුගිය කොවිඩ් සමයේ එකක් ක්‍රියාවිරහිත වූ නිසා භාණ්ඩ ගෙන යන එකකුත් පුද්ගලයන්ගේ ප්‍රයෝජනයට යෙදෙව්වා. ඉන්පසුව ටෙන්ඩර් කැඳවා අලුත්වැඩියා කිරීමට ආයතනයකටත් භාර දුන්නා. ඒ සඳහා අවශ්‍ය උපාංග ආනයනය කළ යුතුයි. මේ වන විට එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. වර්ජනයක් ආරම්භ කළේ ප්රශ්නය විසඳීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව දැනගෙනයි. ඒ නිසා මෙවැනි වර්ජනයක් ආරම්භ කිිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මම තැපැල්පතිතුමාට උපදෙස් දුන්නා.’’