හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා සිදුව ඇති බව වාර්තා වේ.
මෙම වෛද්‍යවරිය ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති අතර ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ.
ඇය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දන්වා තිබේ.
කෙසේ වුවද මෙම වෛද්‍යවරිය විදෙස්ගත වී ඇත්තේ කිසිදු විදෙස් නිවාඩු අනුමත කරවාගැනීමකින් තොරව බව සදහන්.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණි.
හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඉකුත් වසරේ අගෝස්තු 12 වැනිදාල්මේ ආකාරයටම හදිසියේ විදෙස්ගතව තිබිණි.
ඔහු දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව දන්වමින් විදෙස්ගතව තිබූ අතර පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් මේ බව රෝහල් බලධාරින්ට දන්වා තිබිණි. ඔහු විදෙස්ගත වූ පසු රෝහලේ ශල්‍යකර්ම කිරීමේදී දැඩි අසීරුතාවකට රෝහල් බලධාරින් මුහුණ දුන් අතර ඉන් පසුව රෝහලට වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත්කර එවා තිබුණි.
පෙරේදා හදිසියේ විදෙස්ගත වී ඇත්තේ එලෙස පත්ව ආ විශේෂඥ වෛද්‍යවරියකි.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ සුරංග උබේනායකගෙන් සිදු කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ පවතින තත්ත්වයන් යටතේ රෝහලේ ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවන බවයි.
එමෙන්ම දැනට රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා යටතේ සතියේ දිනවල පමණක් ශල්‍යකර්ම කිරීමට සිදුවනු ඇති බවද හෙතෙම පවසා තිබේ.