අද (16) දහවල් නාවලපිටිය ප්රදේශයේ පැවති උද්ඝෝෂණයේදී 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ, හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් නාවලපිටිය නගරයේ මහජන හමුවක් සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව එම ස්ථානයට මීටර් 200 කට ආසන්න දුරින් පිහිටි සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පිරිසක් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැළසුම් කර තිබූ බවයි.
එක් දේශපාලන පක්ෂ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයකින් තවත් දේශපාලන පක්ෂයක පිරිසක් ගමන් කිරීම එම පක්ෂ දෙක අතර ගැටුම් ඇති වීමට හෝ වෙනත් බරපතල හානි එනම් ජීවිත හානි පවා ඇති වීමට ඉඩකඩ පවතින බැවින් හා පෙළපාලි පැවැත්වීමට අවසර ලබාගෙන නොමැති බැවින් ජන හමුව පැවැත්වෙන මාර්ගය ඉදිරිපිට උද්ඝෝෂණ නොපවත්වන ලෙස එම පිරිසට දැනුම් දුන්න බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
නමුත් ජන හමුව පැවැත්වෙන අවස්ථාවේ එම ස්ථානයෙන් 100 කට අධික පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ඇති විය හැකි ගැටුම්කාරී තත්වය සළකා බලා විසිරී යන ලෙස කිහිප විටකම අවවාද කළ බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ .
එසේම පෙළපාලිය පැවැත්වීම සඳහා පොලීසියෙන් අවසර ලබාගෙන නොතිබීම නිසා එය නීති විරෝධී වීමත්, ප්රධාන මාර්ගය අවහිර කිරීම නිසාත්, ආසන සංවිධායකවරයා, නාගරික මන්ත්රීවරයෙන් හා ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.