විදේශගතව සිටින පුද්ගලයෙකුගේ වුවමනාවකට රුපියල් ලක්ෂයකට අහුංගල්ල නගරයේ ත්‍රීවීලර් රියැදුරෙකු ඝාතනය කිරීමට පැමිණි ‘දන්කුඩ්ඩා’ නමැති වෙඩික්කරු හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට හැකි වී ඇත.
මෙම සැකකරු 2019 වසරේදී තලංගම පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක ගෙළ සිරකර මරා දැමීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරු බව ත් එම කොට්ඨාසය සඳහන් කරයි.
එම කොට්ඨාසයේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත සිංහපුර ප්‍රදේශයේ නිවසක් වටලා දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර දන්කුඩ්ඩා කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි විය.
සැකකරු යුද්ධ හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයෙකි. 74 හැවිරිදි කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2019 වසරේ ද මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගිනි.
පසුව රිමාන්ඩ්ගත වූ සැකකරු ඉකුත් 2021 වසරේ මාර්තු මස වසර එකහමාරකට පසු බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණ ඇත.
එලෙස පැමිණ සිටි මොහොතේදී බන්ධනාගාරය තුළදී දැන හඳුනාගත් පුද්ගලයෙකුගේ මාර්ගයෙන් විදේශගතව සිටින අහුංගල්ලේ පදිංචි පුද්ගලයෙකු විසින් අහුංගල්ල ත්‍රීවීලර් රියැදුරෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙනු ලැබ තිබේ.
ඒ අනුව 12 වන දා උදෑසන මොහු ගාල්ල ප්‍රදේශයේ සිනමා ශාලාවක් වෙත ගොස් ඇති අතර එහිදී මෝටර් රථයක් පැමිණ ඔහුව ඊට නංවාගෙන ඇත.
පසුව රියැදුරා සමග සැකකරු අහුංගල්ලට එන අතරතුර කිසියම් තැනකදී සැකකරුට ටී පනස් හය ගිනි අවියක් ලබා දී ඇත.
ඉන් අනතුරුව අහුංගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් අසල ඇති ත්‍රිරෝද රථ ගාලේ සිටින පුද්ගලයෙකු මොටෝ රිය පැදවූ රියැදුරා විසින් සැකකරුට පෙන්වනු ලැබ තිබේ.
ඒ අනුව ටී පනස් හය ගිනි අවිය ද අතැතිව මොටෝ රියෙන් බැස ත්‍රීවීලර් රියැදුරා අසලට ගිය සැකකරු ගිනි අවිය අමෝරා ඔහුට වෙඩි තබා ඇතත් තුවක්කු පත්තු වී නැත.
ඒ අතරතුර ත්‍රීවීලර් රියැදුරා දිවගොස් ඇති අතර ඔහු සමග සිටි ඔහුගේ සගයෙකු සැකකරු අත තිබූ තුවක්කුවේ එල්ලී ඇත.
දෙදෙනා අතර පොරබැදීමක් ද ඇති වී තිබූ අතර ඒ අතරතුරදී සැකකරු අත තිබූ තුවක්කුව බිමට වැටීමෙන් එකවරම වෙඩි ප්‍රහාරයක් නිකුත් වී තිබේ.
එක් උණ්ඩයක් සැකකරු සමග පොර බැදූ පුද්ගලයාගේ පාදයට වැදී ඇති අතර ඔහු කරාපිටිය රෝහලට ඇතුළු කර තිබිණි.
සැකකරු එම අවස්ථාවේ තුවක්කුව නැවත රැගෙන පැමිණි මොටෝ රියෙන් ම පළා ගොස් තිබේ.
පසුව අහංගම ප්‍රදේශයේ පාළු ප්‍රදේශයකදී සැකකරු මෝටර් රියෙන් බැස ඇත්තේ තුවක්කුව රථයේ රියැදුරා අතට ලබා දීමෙන් පසුව ය. ඒ මොහොතේ රථයේ රියැදුරා සැකකරු වෙත රුපියල් ලක්ෂයක් ලබා දී තිබිණි.
සැකකාර හිටපු කෝප්‍රල්වරයා වෙඩි තැබීමට දන්නා අයෙකු වුවද ඔහුට ඉලක්කය වැරදී ගියේ මන් දැයි යන්න විමසීමේදී ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ එම ගිනි අවිය තමා පාවිච්චි කළ එකක් නොවන නිසා එය වෙඩි තැබීමට කලින් නිවැරදි ලෙස ශුද්ධ පවිත්‍ර කර නැති බව ය. ඒ නිසා එම අවස්ථාවේ ගිනි අවියෙන් උණ්ඩ නිකුත් නොවූ බව ය.
සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය කියයි. සැකකරුට කොන්ත්‍රාත්තුව භාරදුන් බව කියන තැනැත්තා ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූවෙකු බව සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. කෙසේ වෙතත් අහුංගල්ල ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඉකුත් 13 වන දා රාත්‍රී වෙඩි තබා මරා දැමූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර තිබිණි.
විශේෂ කාර්ය බළකාය පවසන්නේ 12 වන දා අහුංගල්ලේ සිදු කළ වෙඩි තැබීම කළ ඇඹිලිපිටිය ඉන්දික නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී එසේ මැරුම් කෑ බව ය.
එහෙත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් දන්කුඩ්ඩාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා එම ප්‍රහාරය එල්ල කළ බව ය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙඩි තබා මරා දමා තිබුණේ සිද්ධිය වූදා තමා සමග ප්‍රහාරයට පැමිණි මොටෝ රිය පැදවූ තැනැත්තා බව ය.
ප්‍රහාරයට යොදාගත් ටී පනස් හය ගිනි අවිය ඉකුත් දා සොයා ගැනුණු අතර එය තුවක්කුකරු වෙත ලබා දුන් කිලිනොච්චි හමුදා කඳවුරක මාණ්ඩලික සැරයන්වරයා ද පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බස්නාහිර දකුණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් සැකකාර දන්කුඩ්ඩා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙනු ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදී.