රටකට ඉතිහාසය අවශ්‍ය වන්නේ ඇයි?. රටේ ඉතිහාසය ජනතාව ඉගෙන ගත යුත්තේ ඇයිද? යන්න අප මීට පෙර ලිපියක් පලකලේය. ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් විනාශ කරමින් අනාගත ශ්‍රී ලාංකිකයන්ට ඉතිහාසයක් නැති කරන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ප්‍රමුඛ නිලධාරීන් බව අප මීට සාක්ෂි සහිතවම අනාවරණය කර තිබුණත් ප්‍රතිපත්ති හදන්නෝ ඒ වෙනුවෙන් තවමත් ක්‍රියාත්මකව නැත.
ශ්‍රී ලංකාවේ පැරණිතම මානවයා නොහොත් ශ්‍රී ලාංකිකයන්ගේ පැරණිතම ඥාතියා හමුවන්නේ බලංගොඩ බෙල්ලන්බැදි පැලස්සෙනි. එය උඩවලව වනාන්තරය තුල පිහිටා ඇති අතර එම පෙදෙසට යාමට අවසර නැත. විවිධ සුරංගනා කථා කියමින් ඔවුන් එම ස්ථානය ජනතාවගෙන් වසන්කර තිබේ. එසේම උඩවලව වනෝද්‍යානය තුල එවැනි පැරණි වෙහෙර විහාර මෙන්ම සෙල්ලිපි විශාල ප්‍රමාණයක් තිබෙන අතර එම ස්ථානවලට යාමට ජනතාවට අවසර නැත. නමුත් ඒවා නිදන්හොරුන් විනාශ කර තිබේ. නමුත් පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන වීඩියෝ කිරීම සහ ඡායාරූප ගැනීම තහනම් බවයි. ඒ ඔවුන්ගේ වැරදි වසාගැනීමටය. නමුත් අප එවැනි විනාශයට ලක්වන බොහෝ ස්ථාන කාට කාටත් හොරෙන් වීඩියෝ සහ ඡායාරූප ගෙන අවසන්ය. ඒ සියල්ලම අප ලගදීම ප්‍රසිද්ධියට පත් කරනු ඇත.
බලංගොඩ පිලිබදව විශේෂ ලිපියක් පහතින් දැක්වේ.
කොළඹ නගරයේ සිට කිලෝමීටර් 147ක් පසුකර ගමන්කළ විට හමුවෙන කොළඹ බදුල්ල මාර්ගයේ පිහිටි බළන්ගොඩ නෙතට රසඳුනක් මෙන්ම ගතට සිසිලසක් ගෙන දෙන රමණීය ගම් ප්‍රදේශයකි.
සොබා සොඳුරු බවේ අපූරු චමත්කාරය සමග විශාල කඳු පන්ති රැසකින් වට වී ඇති බළන්ගොඩ මානව ශිෂ්ටාචාරයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඥාණ කෝෂ්ඨාගාරයකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට තේ වගාව සමග කොකෝවා ගම්මිරිස් වැනි වැවිලි භෝගවලට හුරු වුවද අතීතයේ සිට වී ගොවිතැන ප්‍රධාන වූ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් මේ ප්‍රදේශයේ වාසයකොට ඇත.
බළන්ගොඩ මානවයාගෙන් පටන්ගත් ජනමූලගත සමාජයේ මහවලතැන්නේ මහ අදිකාරම්, බාන්ස් රත්වත්තේ, රටේ මහත්තයා මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ දක්වා ආ ගමන් මග වෙනස් කළ සුවිශේෂ චරිත දෙකක් බළන්ගොඩින් බිහිවී ඇත. ඒ චරිත දෙක අතරින් මුළු ලොවටම බළන්ගොඩ කියන ගමේ කීර්තිය රැගෙන ගිය සම්බුදු සසුනට සුවිශේෂ මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාණන් වූ අභිධජ මහරටඨගුරු අතිපූජනීය බළන්ෙගාඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. එසේම ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය උපත ලබා ඇත්තේද බළන්ගොඩ වීම නිසා ශ්‍රේෂ්ඨ චරිත දෙකකින් බළංගොඩට ගෞරවයක් හා අභිමානයක් ගෙනදී ඇති බව සිහිපත් කළ යුතුව ඇත.
බළන්ගොඩ ගමට නම සෑදී ඇති අන්දම මුලින්ම සොයා බැලුවෙමි. ඒ අනුව බළන්ගොඩට ග්‍රාම නාමය සෑදී ඇති අන්දම ගැන මත කීපයක් ප්‍රකාශ වී ඇත. පළමුවෙන්ම අභිධජ මහා රටඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මාහිමියන් පවසා ඇත්තේ ඈත අතීතයේ සිට වළං සෑදීමට මේ ප්‍රදේශය ප්‍රසිද්ධියක් ඉසිලූ නිසා වළංගොඩ බළන්ගොඩ වූ බවයි.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම පැරණි ගල්ලෙන් ආශ්‍රිතව වලං කටු හමුවෙන බැවින් හා බළන්ගොඩ ප්‍රදේශය ඈත අතීතයේ සිට වළං කර්මාන්තය පැවැති බවට තොරතුරු ඇති බැවින් මේ මතය පිළිගැනීමට හැකි බව බොහෝ දෙනා පිළිගනිති. දෙවැනි මතය ඉදිරිපත් කොට ඇත්තේ ශාස්ත්‍රපති බළන්ගොඩ නන්ද නාහිමියන්ය. උන්වහන්සේ පවසන පරිදි සටන් සඳහා අප්‍රසිද්ධව සේනාව රැස්කරමින් සිටි පළමුවැනි රාජසිංහ රජුගේ විශාල සේනාව දුටු එක් ගම්වැසියෙක් ‘සෙබළුන් ගොඩක්’ යනුවෙන් පැවසූ බවද පසුව එම වචනයේ ‘සෙ’කාරය ලොප් වී ‘ඒ’ යන්නෙහි ’උ’ හට ‘අ’ ආදේශ වී බලන්ගොඩ වූ බව පවසති. සකු බසින් ‘බටස්ථල’ යනුවෙන් වැහැරෙයි. ඇතමෙක් වළගම්බා රජු දවස කඳවුරු බැඳ සිටි බැවින් මෙම නාමය සෑදුණු බවත් පවසති. ප්‍රවීණ ගත්කරු දයානන්ද බිනරගම මහතා පවසන්නේ වලවේ ගඟ මුල්කරගෙන මේ ප්‍රදේශයේ නාමය සෑදී ඇති බවය. ඒ අනුව වලව+ගොඩ යන නිරුක්තියෙන් පසුකාලීනව බළන්ගොඩ සෑදුණු බව ඒ මහතා පවසයි.
මුලින්ම බළන්ගොඩ පුරාණය ගැන තොරතුරු විමසුවේ බළන්ගොඩ කිරිඳිගල ශෛලතලාරාමාධිපති පණ්ඩිත කඳන්ගොඩ සද්ධානන්ද නාහිමියන්ගෙනි. උන්වහන්සේ අදහස් දැක්වූයේ මේ අයුරිනි.
“බලංගොඩ කියලා කියන්නේ ඓතිහාසික කරුණුවලින් පිරුණු පුරාවිද්‍යාත්මක කෝස්ඨාගාරයක් යැයි කිවහොත් එය නිවැරැදියි. ඒ තරම් ඓතිහාසිකව මතු නොවුන කරුණු බොහෝමයක් තවදුරටත් ඉතිරිවෙලා සැඟවිලා තිබෙන ප්‍රදේශයක් තමයි බළන්ගොඩ.
බළන්ගොඩ මානවයාගෙන් පටන්ගත්තාම රාම රාවණා, යුද්ධය දක්වා දිවෙන අතීත කථාවස්තුන් රැසක් මේ ප්‍රදේශය හා බැඳී පවතිනවා. ප්‍රදේශවල නම් ගතහොත් රාස්සගල කියන්නේ රාජ්‍ය රහස් කතාකළ ගල පසුව රාස්සගල වුණා. ඊළඟට සීතාගල කියන්නේ සීතාදේවිය සඟවා තිබූ ප්‍රදේශය තමයි. රාම රාවණා යුද්ධයෙන් රාවණාගේ ඔළුව වැටුණු ප්‍රදේශය ඕළුගංතොට යනුවෙන් ජනවහරේ අදත් තිබෙනවා.
ඊළඟට දේව විශ්වාස කෙරෙහිද නැඹුරු වූ ජනතාවක් ඒ කාලේ ඉඳලා වාසය කරලා තිබෙනවා. පත්තිනි දේවිය වෙනුවෙන් හැදූ දේවාල කීපයක් ගැන පුරාණ පත්තිනි හෑල්ලේ සඳහන් වෙනවා.
බළන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පත්තිනි දේවාල ගැන මේ ආකාරයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ.
කුඹල් මුල්ල බොල්කුඹ දේවාලේ
අලුත් නුවර ගලගම දේවාලේ
කිරිඳිගල ද මොරහැළ දේවාලේ
සිද්දපතිනි අණ ඇත හැමවේලේ
බුදු දහමත් සමග දේව විශ්වාස කෙරෙහිද බළන්ගොඩ වැසියෝ දැඩි නැඹුරුවක් ඒ කාලේ ඉඳලම තිබිලා තියෙනවා. බළන්ගොඩ සොබා සෞන්දර්ය ගැන කතා කළොත් ඉතාම දැකුම්කලු දිය ඇලි පමණක් 8ක් මේ ප්‍රදේශය හරහා ගලා බසිනවා. ඉහළ ගලගම පිහිටා තිබෙන බේකර් ඇල්ල උසින් අඩි 655ක් හා පළලින් අඩි 6ක් පමණ වෙනවා. ඊළඟට බළන්ගොඩ කල්තොට මාර්ගයේ තිබෙන දූවිලි ඇල්ල උසින් අඩි 80ක් පමණ වෙනවා. ඊළඟට උසින් අඩි 200ක් පමණ මෙන්ම අඩි 7කින් පමණ පළලින් යුත් සුරතලී ඇල්ල මහවැලි කඳුවැටියේ ‘බුම්ටන්’ රාජ්‍ය වතුයායේ ඉස්මත්තෙන් ආරම්භවෙන මේ දිය ඇල්ලට සුරතලී යන නම හැදුණේ ‘සුරතලී’ යන චිත්‍රපටය රූගත කිරීම් කරලා තියෙන්නේ මේ ස්ථානයේ නිසාවෙනි. දඟකාර විලාශයකින් දිය කඳ පහළට වැටෙන නිසා මුලින් සුරතල් ඇල්ල වශයෙන් හැඳින්වූ මේ ඇල්ල පසුව චිත්‍රපටය රූගත කළ නිසා ‘සුරතලී’ ඇල්ල වෙලා තියෙනවා. ගැරඬියා ඇල්ල බළංගොඩ පින්නවල හරහා මාරතැන්න මාර්ගයේ හිටුවලට ගොස් එතැනින් ‘පුදුකාටුව’ නම් ස්ථානයේ ඉතා රමණීය ගැරඬියා ඇල්ල නරඹන්න පුළුවන්. උස අඩි 87ක් පමණ වන අතර පළල අඩි 7ක් වෙනවා. රන්මුදු ඇල්ල හමුවන්නේ බළංගොඩ මාරතැන්න මාර්ගයේ පඹගොල්ලෙන් හැරී පහළට බසින විට. දියමිනි ඇල්ල බලංගොඩ සිට වැලිගෙපොළ සමනල යෝජනා ක්‍රමයේ දියමිනි ඇල්ල පිහිටා තිබෙනවා. උස අඩි 60කින් හා පළල අඩි 40කින් යුතු ඇල්ලේපොළ ඇල්ල රත්නපුර බළංගොඩ මාර්ගයේ ඇල්ලේපොල ගම්මානයේ පිහිටා තිබෙනවා. බළංගොඩ රාස්සගල මාර්ගයේදී හමුවෙන මැද්දකන්ද දිය ඇල්ල උසින් අඩි 60කි. පළලින් අඩි 5ක් පමණ වෙනවා.
මේ අයුරින් සුන්දර දිය ඇලි 8ක් බළංගොඩ ආශ්‍රිතව පවතිනවා. බළංගොඩ ගමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන දුන්නේ විශාල ගෞරවයක්. සිරිමාවෝ මැතිනිය කුමන රටකට ගියත් බළංගොඩ ගැමි කාන්තාවක් තුළ තිබුණ ගති පැවතුම් ඇයගෙන් වෙනස් වුණේ නැහැ. පුළුවන් සෑම මොහොතකම සිය උපන් ගමට ඇවිත් යෑමට එතුමිය අමතක කළේ නැහැ. බළන්ගොඩ ගමේ හදන ගැටපොළොස් වෑංජනයට බණ්ඩාරනායක මැතිනිය හරිම කැමැතියි. බළන්ගොඩ ආවොත් නොවරදවාම ගැට පොළොස් අරගෙන යෑමට ඇය අමතක කරන්නේ නැහැ.
ඊළඟට බළන්ගොඩ අත්යන්ත්‍ර පේෂ කර්මාන්තවලින් නිෂ්පාදනය කළ දේශීය සාරියට එතුමිය ප්‍රිය කළා. චාම් සරලබව බණ්ඩාරනායක මැතිනිය තුළ වඩා හොඳින් තිබූ ආදර්ශවත් ජනනායිකාවක් පමණක් නොව බළන්ගොඩ ගැමි කාන්තාවක් වීම බළන්ගොඩට විශාල අභිමානයක්” බව අවසන් වශයෙන් සද්ධානන්ද නාහිමියෝ පැවසූහ.
මීළඟට හමුවූයේ බළන්ගොඩ අතීත ශ්‍රී විභූතිය පමණක් නොව භූගෝලීය පිහිටීමේ සිට මානව ශිෂ්ටාචාරය දක්වා අධ්‍යයනයක නිරත වී තොරතුරු සොයාගත් ආචාර්ය දයානන්ද බිනරගම මහතාය. ඒ මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.
‘‘ප්‍රාග් ඓතිහාසික මානවයා දක්වා ඈත අතීතයකට දිවයන මානව ඉතිහාසයක් ඇති ප්‍රදේශයක් වශයෙන් බළන්ගොඩ හඳුන්වා දෙන්න පුළුවන්. සෞම්‍ය දේශගුණය නිසා බළන්ගොඩ ප්‍රදේශයේ ජනගහනය අධික වීමෙන් වර්තමානය වෙන විට භූමියේ ඇති වටිනාකම දෙගුණ තෙගුණ වෙලා තිබෙනවා.
ප්‍රාග් මානව යුගයේ මීටර් 50ක් ඉක්මවූ භූමියක කලාතුරකින් නෂ්ටික පවුල් එකකට හෝ දෙකකට වැඩි සංඛ්‍යාවක් ජීවත් වී නොමැති බව ආචාර්ය ශිරාන් දැරණියගල සූරීන් පෙන්වා දෙනවා. නමුත් අද වෙනවිට න්‍යෂ්ටික පවුලකට පර්චස් 10 ක් වෙන්කර ගැනීමට පවා නගර සීමාව තුළ ඇත්තේ බලවත් තරගයක් වන අතර භූමිය හිඟවීම නිසා සමාජ ආර්ථික ගැටලු රැසක් ඇතිවී තිබෙනවා.
බස්නාහිර දිසාවෙන් පෙට්ටිගල කඳුවැටියත් නැගෙනහිර දිසාවෙන් වූ දක්ෂණි ප්‍රාකාරය හෙවත් ‘දක්ෂිණ මොහොර’ යනුවෙන් හැඳින්වෙන දෙනගල හපුතලේ කඳුවැටියෙන් ද නැගෙනහිර දිසාවෙන් වූ මහවලතැන්න සානුවට දළ බෑවුම්ව ඕපනායක - පැල්මඩුල්ල රත්නපුර නගරය දක්වා ක්‍රමික බෑවුමකින් යුක්ත වූ මධ්‍යගත උස් භූමියක පිහිටි තැනිතලා භුමියක් ලෙස බළන්ගොඩ හඳුන්වා දෙන්න පුළුවනි. නිරිත ඊසාන දිසානු ගතවම බෑවුමක් ඇති මේ ප්‍රදේශය ‘බළන්ගොඩ සානුව’ යනුවෙන්ද හඳුන්වනු ලබනවා. බළන්ගොඩට ලැබෙන වැස්සෙන් කොටසක් වලවේ ගඟට ගලායන අතර තවත් කොටසක් කළු ගඟට එක්වීම බළන්ගොඩින් සිදුවන අපූරු ක්‍රියාවලියක්.
මේ ප්‍රදේශයෙන් ගලා බසින වලවේ ගඟ ප්‍රධාන කොටගත් එහි අතු ගංගාවන් වන දොරවෙල් ඔය, දෙනගං ඔය, බෙලිහුල්ඔය, පියන්ගිරි ඔය හා මේවාට එක්වෙන අැළ දොළ මෙන්ම ලොකු කුඩා දිය ඇලි ප්‍රදේශයේ සුන්දරත්වය වැඩි කරනවා. ගංගා නිම්නවල හා ගං පත්ලේ නිධිගතව ඇති මැණික් ඉල්ලම සහ සුළු වශයෙන් හමුවෙන රත්තරන්, ඛණිජ, ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ජනතාවගේ ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්මයේ ජීවය රදා පවතින්නේ මේ ප්‍රධාන ගංගාවේ හා අතු ගංගාවල ආධාරයෙන්.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මේ ප්‍රදේශය බළන්ගොඩ ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයට ප්‍රධාන වශයෙන් අයත් වෙන අතර ඉඹුල්පේ හා වැලිගෙපොළ ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසවලට අයත් බලප්‍රදේශ තුළද බළන්ගොඩ ප්‍රදේශය විසිරී ඇත. මේ බලප්‍රදේශ තුනම බළන්ගොඩ ප්‍රදේශයට අයත් වෙන අතර ඊට පරිබාහිරව සීමා රහිතව ප්‍රදේශයේ සංස්කෘතික හා භෞතික පරිසරය ව්‍යාප්තව ඇත.
පැරණි සබරගමු දිසාවට අයත් කඩවත මැද කෝරළයේ ප්‍රධාන නගරය වන්නේ බළන්ගොඩයි. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය බළන්ගොඩ නගරයට නුදුරින් පිහිටා ඇති ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතනය වන අතර මෑත යුගයේ සබරගමුවට ලැබුණු නැණ පහන් දැල්වීමේ ප්‍රධාන මිණි කැටය එයයි. දඹදෙණි යුගයේ පළාබත්ගල වන සෙනසුන් මහා විහාර භික්ෂු අධ්‍යාපන විශ්වවිද්‍යාලය හැරුණු විට සබරගමුවේ බිහි වූ දෙවැනි විශ්වවිද්‍යාලය මෙයයි.
මුහුදු මට්ටමේ සිට අඩි 2096ක් උසින් පිහිටා ඇති බළන්ගොඩ නගරය තෙත් කලාපයට අයත්වෙන අතර නගරයේ ව්‍යාප්ති ප්‍රදේශය තුළ ඇති වෘක්ෂලතා පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල වැවෙන පලු, වීර, බුරුත, නැදුන්. තේක්ක, ගම්මාළු, කැටකාල වැනි තද අරටුව සහිත ශාක දැකිය හැකි අතර නගරයට ආසන්න කඳුකර කලාපයේ කඳුරට සදාහරිත හා සෞම්‍ය වනාන්තරවල වැවෙන ඇටඹ, ගොඩපර, වල් දෙල්. කැකුණ, ඇහැටු, නුග ආදී පත්‍ර පළල් ශාක දකින්න පුළුවන්. මහ හැඩයා, කුඩා හැඩයා, බේදුරු පනම් පෙති, මීවන වර්ගයේ පැළැටි මෙන්ම ඖෂධීය ශාක බහුලව මේ කඳුකර වනාන්තරවල දැකීමට පුළුවනි. මේ ප්‍රදේශයට නිරිතදිග මෝසම් වැස්සෙන් වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 75-100 දක්වා වැඩිවේ. බළන්ගොඩ නගරයේ වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 70 සිට 80 අතර ප්‍රමාණයක් ගනී. එක් එක් මාසවලදී උෂ්ණත්වය වෙනස් වන අතර මාර්තු අප්‍රේල් මාසවලදී දැඩි හිරු රශ්මියක් පවතියි. සංවහන ක්‍රියාවලිය නිසා දවසේ සවස් භාගයේදී බක්මහ අකුණු සහ වැසි දර්ශනයකි. මැයි මාසය ආරම්භවත්ම පැයට කිලෝමීටර් 50-75 අතර වේගවත් සුළඟක් සමහර අවුරුදුවල දැකගැනීමට පුළුවන. මැයි, ජුනි, ජූලි මාස හැරුණු විට අනෙක් මාසවල දී පරිසරයේ දැඩි නිසල බවක් පවතියි. සමනල වැව ජලාශය ඉදිකිරීමෙන් පසු පරිසර පද්ධතියෙත් වර්ෂාපතනයේ හා උෂ්ණත්වයේත් ස්වරූපය යම් ප්‍රමාණයකට වෙනසකට භාජනය වී ඇත.
අප ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ජීවනෝපාය වෙන්නේ ගොවිතැනයි. මතුපිට භූමියේ ස්වභාවය සහ පාංශු කලාපවල භෞතික හා රසායනික ස්වරුපයට අනුව බෝග වගාවේ වෙනස්කම් පවතියි. වලවේ ගඟ හා ඒ ආශ්‍රිත අතු ගංගා නිම්න ප්‍රදේශවල මෙන්ම පිටාර තැනි බිම්වල ව්‍යාපාරික වශයෙන් හා පරිභෝජනය සඳහා වී වගාව සිදුකරයි.
කඳු බිම්වල හෙල්වැටි තුළ හෙල්මළු වී වගාව සිදුකරන්නේ ග්‍රාමීය වැසියන්ගේ පරිභෝජනය සඳහාය. කඳුකර ලැටරයිට් පාංශු කලාපයේ ව්‍යාපාරික වශයෙන් හා සුළු පරිමාණයෙන් තේ වගාව සිදුකරයි. ඊට අමතරව පොල්, ගම්මිරිස්, කෝපි, කුරුඳු, කරාඹු නැටි ආදී අතිරේක සුළු අපනයන ආහාර බෝග හා ගෙවතු වගා ලෙස කොස්, දෙල්. පුවක්, පලතුරු ආදිය ද වගාකරයි.
හේන් ගොවිතැන යටතේ කව්පි, ඉරිඟු, මුං, මෑ. තල, මෙනේරි, කුරක්කන් සහ කටුසර හේන් එළවළු වගාව යටතේ වට්ටක්කා, කැකිරි, බටු, මිරිස් සහ මඤ්ඤාක්කා, බතල, ඉන්නල ඇතුළු අල වර්ග වගා කරයි. ව්‍යාපාරික වශයෙන් මහාපරිමාණ ලෙස බෝංචි වගාව හේන් බිම්වල හා කනතු කුඹුරුවල වගා කිරීම මීට දශක තුනක පමණ කාලයක සිට මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන විශේෂ වගාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්.
බළන්ගොඩ ඈත අතීතයේ සිට විවිධ ජන වර්ගවලට අයත් ජනයා එකට වාසය කරන ප්‍රදේශයකි. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන් මිශ්‍රව ඉතා සමගියෙන් සුහදව එකම පවුලක පුරවැසියන් වශයෙන් ජීවත්වීම බළන්ගොඩ ප්‍රදේශයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි. නාගරික බොහෝ ද්‍රවිඩ ජනයා ආහාර ද්‍රව්‍ය සිල්ලර හා තොග වෙළෙදාම සිදු කරයි. කඳුකරයේ ජීවත්වෙන වතු දෙමළ ජනයා තේ වගාවේ නිරතව සිටිනවා. මුස්ලිම් ජනයා බොහෝ දෙනා මැණික් වෙළෙදාමේ සහ රෙදි සුවඳ විලවුන්, පාවහන් වෙළෙඳාමේ නිරතව ඉන්නවා. ඔවුන් කිසිවිටෙකත් ගොවිතැන් කටයුතු කරන්නේ නැහැ. ප්‍රදේශයේ බෞද්ධ ජනතාව වැඩිදෙනා ගොවිතැනේ නිරතවෙනවා. එළවළු පලතුරු ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, මනි බඩු සහ සුළු අපනයන බෝග වෙළෙඳාමෙහි නාගරික සිංහල ජනතාව නිරතව ඉන්නවා. ගොවිතැනට අමතරව මැණික් ගැරීම සිංහල ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙනවා. කම්කරු, පෙදරේරු, අනිකුත් සුළු කර්මාන්තවල නිරතවී ඇති බොහෝ දෙනා සිංහල බෞද්ධයෝ වෙනවා.
වැඩි වටිනාකමකින් යුත් රතු, නිල්, පසිංගල්. වෛරෝඩී. ආරනුල්, පුෂ්පරාග, පද්මරාග, නිල්, ඔට්ටු, ගෙවුඩ ආදී මැණික්වල සිට අඩු වටිනාකමක් ඇති පදියන්, ජාගුන්, කිරින්චි, රබස්, පළිඟු, දියතරිප්පු දක්වා ඛණිජ පාෂණ මේ ප්‍රදේශයේ භූගර්භය තුළ දැක ගැනීමට පුළුවන්.
ඉතා සුළු වශයෙන් හමුවන රත්රන් කැබලි එකතු කිරීම වලවේ ගඟ ආශ්‍රිත ඇඳුම් පතල් කරුවන්ගේ සිරිතක් වෙලා තිබෙනවා. ප්‍රදේශයේ කාන්තාවන් වැල්ල නෑඹිලිවල දමා ගැරීමෙන් රත්රන් කැබලි හා කුඩු එකතු කිරීම වෘත්තියක් වෙලා තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ වලවේ ගංනිම්න පතුලේ රත්රන් නිධිගතව ඇති බවයි.
ඈත අතීතයේ සිට වළං කර්මාන්තය කළ බවට පුරාවිද්‍යාත්මක සාධක නෙළුවයාය, කුඹල්ගම, හඳගිරිය, වලව මිටියාවත ආදී ස්ථානවලින් තොරතුරු සොයා ගෙන ඇති අතර රත්මලවින්න, කොටුපළතැන්න, වේලිඔය ආදී ස්ථානවල දියුණු ගඩොල් කර්මාන්තයක් කළ බවට තොරතුරු අනාවරණය වී ඇත.
දේශීය පමණක් නොව විදේශීය අවශ්‍යතා පවා සපුරාලීමට සමත් යකඩ සහ වානේ කර්මාන්තයක් මධ්‍ය අනුරාධපුර යුගයේ දී බළන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිත පැරණි ගම්මාන වූ හටන්පොළ, යටිමලකඩුව, පියන්ගිරිය, හතරබාගේ. මාමල්ගහ, මුත්තෙට්ටුවේගම, බෙලිහුල්ඔය, දෙනගංඔය ආදී ප්‍රදේශ ඇතුළු යකඩ උණු කළ ස්ථාන 264ක් පිල් ජුලිෆ් පුරාවිද්‍යාඥවරිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කාලේ ස්වභාවික සුළං බලයෙන් යකඩ උණුකළ එකම රට වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් විසින් ලියූ ‘සත්ව සම්භවය’ ග්‍රන්ථයෙන් චාල්ස් ලයල්ගේ ‘මිනිසාගේ පෞරාණිකත්වය’ නමැති ග්‍රන්ථය එළිදැක්වීමෙන් පසු ලෝක මානව විද්‍යාඥයින්ගේ අවධානය භූ විද්‍යා අධ්‍යානයන් කෙරෙහි යොමුවන්නට වුණා. මත්ස්‍ය, උරග, උභය ජීවි පක්ෂි හා ක්ෂිරපායී ආදී සතුන් අතරින් ඍජුව කොඳු නාරටියක් සහිත මිනිසා නමැති අපූර්ව සත්වයා ලොව බිහිවීම ලෝක මානව ඉතිහාසයට සුවිශේෂ සිදුවීමක් වුණා.
මීට අවුරුදු හය ලක්ෂයකට පෙර අප්‍රිකාවේ ඔල්දුවා නිම්නයෙන් පළමුවරට සොයාගත් වානර මානවයාගේ සිට පීකිං, ජාවා, නියැන්ඩතාල්, ක්‍රොමැනියන් ආදී මානවයන් සමග ‘බළන්ගොඩ මානවයා’ පිළිබඳ තොරතුරු ලොවට හෙළි කළේ බළන්ගොඩ, දියවින්න හා හඳගිරියට නුදුරු බෙල්ලන් බැඳි පැලැස්ස නම් ස්ථානයෙන් සොයාගත් මානව අවශේෂවල ප්‍රතිඵලයක් වශයෙනි. මේ පිළිබඳ ලොවට තොරතුරු හෙළි කළේ මහාචාර්ය පී.ඊ.පී. දැරණියගල සූරින් බවත් මේ මොහොතේ සිහිපත් කළ යුතු වෙනවා.
බළන්ගොඩ අවට ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බළන්ගොඩ මිනිසා (Balangoda Man) මහාචාර්ය පී.ඊ.පී දැරණියගලයන් විසින් හඳුන්වා ඇත්තේ ‘හොමෝ ඉරෙක්ටස් බළන්ගොඩයන්සිස්’ මානවයා යන අර්ථාන්විත නාමයෙනි.
බළන්ගොඩ මානවයා යනු කවරෙක්දැයි? ප්‍රශ්නයට දිය හැකි කෙටිම පිළිතුර වෙන්ෙන් බෙල්ලන්බැඳි පැලැස්සෙන් සොයාගත් පාෂාණ යෞගික මානවයන්ගේ ඇට සැකිළි හැදින්වීම සඳහා දී ඇති නාමයන් යන්න හැඳින්වීමට පුළුවන්. මෙසේ සොයාගත් මානව ඇටසැකිලි 12න් 10කම නැවුණු ඉරියව්වලින් යුක්තව වක්වී තිබීම විශේෂත්වයක් වශයෙන් දකී. පසුකාලීනව කරන ලද පර්ෙය්ෂණවලින් හෙළි වී ඇත්තේ මළ පුද්ගලයා විශාල වළංවල බහා භූමිදානය කර ඇති බවයි.
එකල වළදක බහා භූමිදානය කරන සිරිතක් පැවති බව පැහැදිලිය. මානව ශිෂ්ටාචාරයේ උපත සනිටුහන් කළ බළන්ගොඩ මානවයා තුළින් මානව ශිෂ්ටාචාරයේ ආරම්භය ගැන සෙවීමට ඇති ඥාන කෝෂ්ඨාගාරය බළන්ගොඩ බව අවසන් වශයෙන් දයානන්ද බිනරගම මහතා ප්‍රකාශ කළේය.
✍️📷සටහන
මහින්ද ආරියවංශ