මේ දිනවල රටේ අවධානය දිනා ගැනීමට සමත් වුණ අපූරු ගැහැණිය තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා ලෙස සඳහන් ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් දෙහිවල මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සිදුකළ සාකච්ඡාවක් තුළින් රටේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳවම අනාවරණය විය.
විශේෂයෙන් එහිදී අවධානය යොමු වූයේ තිලිණි ප්‍රියමාලි වටා බැඳී ඇති මූල්‍ය වංචා සිදුවීම සම්බන්ධයෙන් වන අතර එම චෝදනාවන්ට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගැනුනු ඇයගේ පෙම්වතා යැයි සඳහා ඉසුරු බණ්ඩාර යන අයට එල්ලව ඇති චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාව පිළිබඳවයි.
මෙහිදී නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කළේ ඔහුගේ සේවාදායකයා නිකරුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අටවන ලද උගුලකට හසුව ඇති බවයි.ව්‍යාපාරික දැනුම ඇති පුද්ගලයෙක් එසේ රැවටීමට තරම් ඔහු බබෙක් දැයි කවුරුන් හෝ විමසුවහොත් එහි වරදක් ද නොමැත.
ඉසුරු බණ්ඩාර හට රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදු වූයේ මොහු කී දේ නොඇසූ නිසා බවයි නීතිඥ රොෂාන් දෙහිවල මහතා ප්‍රකාශ කළේ.නීතිඥවරයා විසින් ලබාදුන් පිටපතට එහා ගොසින් ඉසුරු බණ්ඩාර මෙසේ රිමාන්ඩ් වී ඇති බව එහිදී අනාවරණය විය.
මේ වන විට ලංකාවේ අධිකරණ තුළ ඇසෙන නඩුවලින් 80%ක්ම CID නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදුකරන කුමන්ත්රනවල ප්‍රතිඵලයක් බවත් ඔහු සඳහන් කළේ.එමෙන්ම බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්ගෙන් 80%ක් එවැනි ගැටවලට හසුව නිකරුනේ දඬුවම් ලබන්නන් බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් මෙය හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වැනි දෙයක් ලෙස අපට සැලකිය හැක.මක්නිසාදයත්, කිසිදු නීතිඥවරයෙක් සිය සේවාදායකයාට අවාසි සහගත වන අයුරින් ප්‍රකාශ සිදු නොකරන නිසාවෙනි.
මෙම සාකච්ඡාව තුළදී අවධානය යොමු වූ තවත් සිදුවීමක් වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගැනුනු අවස්ථාවේ දී ද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීති කණ්ඩායමේ ප්‍රධාන නීතිඥවරයා වශයෙන් මොහු පෙනී සිටීමයි.
එහි දී පොලිස්පති වරදක් සිදු කර නොමැති බවත් පොලිස්පති විසින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බවත්, සඳහන් කරන ලදී. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා නම් සඳහන් කළේ මං මොකුත් දන්නේ නෑ වැනි ප්‍රකාශයකි.මෙවැනි දේ සම්බන්ධයෙන් අපට කිව හැක්කේ “දෙයියො දනී අපි නොදනී” කියා පමණි.කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් අහිමි වූ අහිංසක ජීවිත යළි ගෙන ඒමට නොහැකි සේම දේශපාලුවන් ජනතාවගේ ජීවිත බිල්ලට තබා කරන මෙවැනි අපරාධවල කෙළවරක් තවමත් පෙනෙන්නට නැත.