130 දෙනෙකුට අධික පිරිසක් මියගිය, පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා කඩාවැටුණු ඉන්දියාවේ මෝර්බි හි වසර 150 ක් පැරණි පාලම නඩත්තුව සඳහා ටෙන්ඩර් කැඳවා නොමැති බව අද අනාවරණ වුණා.
ඒ ඊට අදාළ නඩුව ගුජරාට් මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යි.
පොදු පාලමක නඩත්තු සඳහා ටෙන්ඩර නොකැඳවීමට හේතුව සහ මෙතරම් වැදගත් කාර්යයක් සඳහා ගිවිසුම පිටු එකහමාරකට සීමාවීම පිළිබඳව අගවිනිසුරු අරවින්ද් කුමාර් ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම්වරයාගෙන් විමසා තිබෙනවා.
විනිසුරු තවදුරටත් විමසුවේ, 2008 වසරේ දී අත්සන් කළ කොන්ත්‍රාත්තුව 2017 වසරෙන් අවසන් වූ විට අදාළ සමාගම පාලම ක්‍රියාත්මක කරන්නේ කුමන පදනමකින්ද යන්නයි.
අගවිනිසුරු අරවින්ද් කුමාර් සහ විනිසුරු අශුතෝෂ් ජේ ශාස්ත්‍රිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අවම වශයෙන් දෙපාර්තමේන්තු හයකින් මේ පිළිබඳ පිළිතුරු ඉල්ලා සිටියා.
වගකීම පැහැර හැරී මහ නගර සභාව නිසා මිනිසුන් 130 කට අධික සංඛ්‍යාවක් මියයාම 1963 වසරේ ගුජරාට් මහ නගර පනතට අනුකූල දැයි විනිසුරු මඩුල්ල තවදුරටත් විමසුවා.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොන්ත්‍රාත් සමාගමේ කාර්ය මණ්ඩලය පමණක් වන අතර, ඉන්දීය රුපියල් කෝටි 7 ක ගිවිසුම අත්සන් කළ ඉහළ කළමනාකාරීත්වය කිසිදු ක්‍රියාමාර්ගයකට මුහුණ දී නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම, පළමු දිනයේ සිට කොන්ත්‍රාත්තුවේ ලිපිගොනු මුද්‍රා තබා ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය ඉල්ලා සිටියා.