සමස්ත ලෝකයටම අද තිබෙන ප්‍රශ්නය ආර්ථිකය බිද වැටීමය. එහෙත් ලොව බොහෝ දියුණු රටවල් වලට කොවිඩ් නිසා ආර්ථික වශයෙන් පාඩු සිදු වුවත් එම රටවල් වලට එය විශාල ගැටළුවක් ඇති කර නැත. එම රටවල් වලට අවුරුදු තවත් ගණනාවක් කොවිඩ් පැවතුනද සියලු දේ කර ගැනීමට හැකියාව ඇති තරමට ඔවුන් ආර්ථික වශයෙන් ශක්‌තිමත්ය.
එහෙත් ශ්‍රී ලංකාව තුල තත්වය මීට වඩා භයානකය. මේ වන විට මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිත පහලට වැටෙන තත්වයක් උදා වී ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද ප්‍රකාශ කරයි. මේ වන විට ජාත්‍යන්තරයෙන් රැගෙන ඇති ණය ගෙවා ගැනීමට තරම්වත් වත්කමක් සොයාගැනීමට ලංකාව අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ආර්ථික ගණු දෙණු පිලිබදව ලංකාව විශ්වාස කල නොහැකි රාජ්‍යක් බවට පත් විය හැකි බවද මොවුන් පෙන්වා දෙයි.
මේ සියලු ගැටළු සමග රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට මෙන්ම විශ්‍රාම වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදා විය හැකි බවද බොහෝ දෙනෙකු පවසති. ඉදිරි මාස කිහිපය තුල අහාර හිඟයක් සහ සාඝතයක්ද ඇති වීමට ඉඩ කඩ වැඩි බව පෙනේ. ඒ පිළිබදවද බොහෝ දෙනෙකු කතා වෙති. පෙට්‍රල් ඇතුළු ඉංධන වර්ග, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබදවද ගැටළු මතුවෙමින් පවතී. ඉංධන නොමැති උවහොත් කුමක් කරන්නද? ඉන්ධන ලබා ගැනීමට ලංකාව තුල මුදල් තිබුනද, ඉන්ධන නිෂ්පාදන රටවල් වල පවා කොවිඩ් වරින් වර මතුවෙමින් විවිධ විනාශයන් සිදු වෙමින් පවති.
ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන ප්‍රධානම ගැටලුව අසීමිත ලෙස ණය ගෙන තිබීමය. නිෂ්පාදනය වැඩි කලද ඒවා විදේශ වලට යැවීමට නොහැකි වුවහොත් නිෂ්පාදනය තුලින්ද ප්‍රතිපල අත් පත් කර ගත නොහැකි වනු ඇත. කෙසේ වුවද රජය ඕනෑම කොන්දේශියකට යටත්ව ආයෝජකයන් ගෙන්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. රජය එසේ ප්‍රකාශ කලද, කොවිඩ් හමුවේ ආයෝජකයන් ගෙන්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ආයෝජකයන් සිටින රටවල්ද මෙම කොරෝනා වෛරසයෙන් පීඩා විදින බැවින් එය සාර්ථක කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරීමට සිදු වනු ඇත.
කෙසේ වුවද, මේ වන විට ශ්‍රී ලංකාව තුල සමාජ, ආර්ථික සහ පාරිසරිකව ද දැවැන්ත බිද වැටීමකට ලක්වෙමින් තිබේ. එහෙත් මේ සියල්ල දෙස අවධානය යොමු කර කටයුතු කල යුතු රාජ්‍ය සේවයේ උසස් පරිපාලන නිලදාරීන්ගේ දෙනෙත් තවමත් විවෘතව නැත. එයින් පෙනී යන්නේ රාජ්‍ය පරිපාලනය පිලිබදව කටයුතු කරන උසස් නිලදාරීන්ට රටේ අනාගත ප්‍රශ්න දෙස බැලීමට අවශ්‍ය බුද්ධිය හෝ දැනුම නැති බවය. සත්‍ය නායකයන් අද දවස ගැන නොබලති. ඔවුන් බලන්නේ හෙට දවස ගැනය. මහජන මුදලින් වැටුප් ලබන්නෝ, ජනතාවගේ හෙට දිනය දෙස බැලිය යුතුය. එසේ නොවන්නේ නම්, හෙට දිනයේ දුක් විදින්නේද, එම මහජන සේවකයෝමය. එසේම කොවිඩ් සමග වැටුණු රට ගොඩගැනීමට අවශ්‍ය දැනුම හෝ, එය අවශ්‍ය කාරණාවක් ලෙස නොදකින විට , ණය ගෙවා ගැනීමට නොහැකි වන විට, මෙරටේ සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණමින් , 1818 දී සිදු උනා මෙන් උපක්‍රමශීලිව මෙරට විදේශිකයනට බාර දීම උවද සිදු විය හැකිය.
මතු දින ලොව පුරාම මහජන කැළඹීම් සහිතව උද්ඝෝෂණ ඇති වනු ඇත. තවත් බොහෝ දෙනෙකු මිය යනු ඇත. ශ්‍රී ලංකාව තුලද තත්වය එසේම වනු ඇත. ශ්‍රී ලංකාව අස්ථාවර වනු ඇත. මේ අතර විදේශ ආක්‍රමණද සිදු විය හැකිය. රාජ්‍ය සේවකයෝ ඇතුළු සමස්ත ප්‍රජාවම අනතුරට ලක් වනු ඇත. එය සිදු වන්නේ අදද, හෙටද, කිව නොහැකිය. එහෙත් ඉදිරියේදී විය හැකි බවට පෙනෙන්නට තිබේ. එහෙත් ගොවි කම්කරු ජනතාව පමණක් නිදහසේ ජීවත් වනු ඇත.
මේ සියලු ප්‍රශ්න දශක කිහිපයක් තිස්සේ විවිද අයුරින් මතුව තිබු ප්‍රශ්නය. මේ සියල්ල මේ වන විට පුපුරා යමින් තිබේ. මේ ගැටළු දැන් එකට එකතුව තිබේ. ගැටළු ගැන කතා වේ. එහෙත් පිළිතුරු නැත. පවතින වාතාවරණය තුල රජය සමග සමීපව කටයතු කරන්නන්ටද මේවාට පිළිතුරු ලබා දීමට දැනුමක් නැත. එය ඔවුන්ගේ දැනුමේ හෝ බුද්ධියේ ගැටළුවක් නොවේ. හේතුව නම් සමාජ , ආර්ථික සහ දේශපාලන සමබරතාවය පිලිබදව ඔවුන් ඉගෙන ගෙන නොතිබීමය. මේ අවස්තාවේ කල යුත්තේ සියල්ල දෙස තම තමන්ගේ කෝණයෙන් බැලීම නොවේ. කල යුත්තේ යතාර්ථවාදී දර්ශනයන් ඔස්සේ මේ දෙස බැලීමය. වර්තමානයේ ඇති සියලුම ප්‍රශ්නවලටද, අනාගතයේ ඇති වන සියලුම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු සහ ගැටළු විසදීමට ක්‍රම ඕනා තරම් තිබේ.
ශ්‍රී ලංකාවේ අනාගතය දෙස බලමු. සාඟත සාගිනි නිවන වැඩපිළිවෙලකට යමු. සංවර්ධනයට තිත තබමු. සමාජය සුරැකීම සදහා සියලු වැඩපිළිවෙලවල් සකසමු. රජය දැන් අවධානය යොමු කල යුත්තේ අනාගත ප්‍රශ්න විසදීම පිළිබදවය. අනාගත ප්‍රශ්න හදුනා ගත හැක්කේ සමාජ විද්‍යාඥයින්ට පමණි. වෙළද ව්‍යාපාරිකයනට, වෛද්‍යවරුන්ට, නීතිවේදීන්ට, විනිසුරුවරුන්ට, පරිපාලන නිලධාරීන්ට, ගුරුවරුනට හෝ දේශපාලන අධිකාරියට එම දැනුම නැති බවද පැහැදිලිවම කිව යුතුය. කෙසේ වුවද පවතින සියලු අර්බුද හමුවේ රජය අප්‍රසිද්දියේ හෝ යම් වැඩපිළිවෙලක් සිදු කරමින් තිබෙන්නේ නම් මේ සියල්ලෙන්ම ජයග්‍රහණය කර ගත හැකිය. යමෙක් අපෙන් උපදේශ පතන්නේ නම් අප එය නිබඳවම ඔබ වෙත ලබා දෙන්නෙමු