ලංකාවේ පාරිසරික දූෂණ වැඩියෙන්ම සිදුවන්නේ මධ්‍යම පළාතේ බව අප මීට පෙර වාර්තාකර තිබේ. එසේම, නීතිය නිසි ලෙස ඉටු නොවන ප්‍රධානතම දිස්ත්‍රික්කයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කය අප හදුනාගෙන තිබෙන්නේ මීට බොහෝ කාලයකට පෙරය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ අපද්‍රවය බැහැර කිරීමේදී එහි දූෂිත පාලකයන් විසින් ඩෙංගු උවදුර ඇතිවන ලෙස කටයුතු සිදු කර තිබීම නිසා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුනේය. ඒ පසුගිය වර්ෂයේය. එසේ නීතිමය කටයුතු සිදුකල මහජන පරික්ෂකවරයාට එරෙහිව පැමිණිල්ලක් යෙදු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් ඔහුව පොලිසියට ගෙන්වා සමාව ගැනීමට බලපෑම් කර තිබුනේය.
එසේම විවිධ මිනීමැරුම්, ඇතුළු දූෂිත කටයුතු ගණනාවක්ම සගවමින් මහනුවර් ශ්‍රී දළදා මාලිඟාව වැනසීමට එරෙහිව කටයුතු කල පුද්ගලයන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී පැමිණිලි යොදා තිබුනත් ඒවා කිසිවක් නීත්‍යානුකූල ලෙස විමර්ශනය කර දඩුවම් ලබා දීමට මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් කටයුතු නොකරන්නේ අවුරුදු දහයකට, පහළොවකට පෙර සිටය.
එසේම ගම්පොල ප්‍රදේශයේද ගැටළු විශාල ප්‍රමාණයක් තිබෙන අතර ඉදිවෙමින් පවතින අධිකරණ ගොඩනැගිල්ලක් පවා ඉදිවන්නේ නීතිවිරෝදීව ගොඩකර තිබෙන ඉඩමක බවද වාර්තා වේ.
එසේ දීර්ඝ කාලයක සිටම නීතිය වල් වැදුණු නොහොත් දූෂිත දේශපාලන අතකොලු වූ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නීතියේ නැමිල්ල නැවත ගොඩනැගීමට අපහසුවන ලෙස නමා තිබේ. එවන් දීර්ඝ කාලයක සිට පවතින දූෂිත කර්මයන් නිසා සහ මුල් බැසගත් පොලිස් නිලධාරීන් නිසා සාධාරණ ලෙස ජීවත්වන මහනුවර වැසියන්ට ජීවත්වීමට පවා නොහැකිව තිබේ. පොලීසිය පවා ගන්නේ දූශිතයන්ගේ පැත්ත බව පැහැදිලිවම දක්නට තිබේ.
එසේ නීතිය වල් වැදුණු මහනුවර අම්පිටියේ බියට පත් මිනිසුන් සොයා ඊයේ (01) මහනුවර කොඨිඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා අම්පිටිය ජනතාවට හමුවීමට ගියේය.
අංක 269 උඩගම උතුර, අංක 271 පල්ලේගම, අංක 272 මැද්දේගම, අංක 274 වැවතැන්න, අංක 270 අම්පිටිය උඩගම දකුණ, අංක 253 අම්පිටිය දකුණ අම්පිටිය උතුර සහ තැන්නේකුඹුර යන වසම්වල මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් පැවැත්වීය. අම්පිටියේ පාතාලය මඩින්න ඔහු මාසයක් කල් ඉල්ලුවේය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ප්‍රදේශ භාරව සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන්නේ නම් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ගමින් ගමය යා යුතු නොවේ. නමුත් දැන් සිදුව තිබෙන්නේ පාතාලයට ආධාර උපකාර කරන, දේශපාලන අතකොලු වූ පොලිස් නිලධාරීන් නිසා ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ට ස්ථානාධිපතිවරුන්ගේ වැඩ කිරීමටය. එසේම දූෂිත පොලිස් ස්ථානාධිපතිවරුන් ගණනාවක්ම මේ වන විට සහකාර පොලිස් අධිකාරිවරුන් බවට පත්ව තිබේ. දැන් ඔවුන් එම තනතුරේ සිටියදී ඉතාම පහසුවෙන් තම දූෂිත ක්රමයන් ඉටුකරගෙන යති. ඊටත් ඉහල ජේෂ්ඨ නිලධාරීන් වටේ යති. එසේම තවත් දූෂිත ජේෂ්ඨ නිලධාරීන්ද විශාල ප්‍රමාණයක් සිටින බව අපද මීට පෙර වාර්තා කර තිබේ