දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දෙගම පිවිසුම අතර කොළඹ දෙසට වන්නට 88 වන කිලෝමීටර කණුව ආසන්නයේ අද (ජන. 1) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.
සිදු වූ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
අනතුරින් මෙලෙස තුවාල ලබා ඇත්තේ, මතුගම, පැළවත්ත ප්රදේශයේ පදිංචි පිරිසක් බවට තොරතුරු වාර්තා වී ඇත.
එමෙන්ම තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු සිටින අතර ඔවුන් අතර තුවාල ලැබූ ළමුන් තුන් දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
එමෙන්ම රෝහල් පොලිසිය සඳහන් කළේ, අනතුරෙන් වාහනයේ රියැදුරු බරපතළ තුවාල ලබා ඇති අතර අනෙකුත් පිරිස සුළු තුවාල ලබා ඇති බව ය.
කතරගම වන්දනාවට ගොස් යළි නිවස බලා යමින් සිටියදී රියැදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදු කරයි.