ශ්‍රී ලංකාවේ ජනතාව නැවතත් අරගලයකට තල්ලු කරනා විදුලි බිල වැඩි කිරීම පිලිබදව වන යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය ලැබුණි. ඒ අනුව එම යෝජනාව තමාට ලැබුනේ ඊයේ(09) බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 45ක්-50ක් අතර පමණ කාලයක් ගත වන බව ය.
“අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අදාළ පාර්ශවයන් සමග විමසමින් කිසියම් සංශෝධනයක් විය යුතු නම් එය පෙබරවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන අපිට ගැටලුවක් නෑ. අපිට ප්‍රශ්නේ තියන්නේ අපිට මේ යෝජනාව ලැබුණේ ඊයේ. මේ ක්‍රමවේදය කරගෙන යනකොට මේකට සාමාන්‍යයෙන් දවස් 45ක – 50ක කාලයක් යනවා. ඒ ක්‍රමවේදය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ.
හැබැයි අපි කැබිනට් පත්‍රිකාවේ දෙවන ඡේදයේ තියෙනවා මේ මාර්ගෝපදේශයන්ට අනුව මේ සංශෝධනය අන්තර් කාලීන පියවරක් වශයෙන් 2023 ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලය යෝජිත විදියට කරන්න ඕනේ කියලා. අතීතයට බලපාන විදියට විදුලි බිල සංශෝධනය කරන ක්‍රමවේදයක් නෑ. ඒ වගේ ම අන්තර්කාලීන විදුලි බිල සංශෝධනයක් කිරීමේ හැකියාවකුත් නෑ. පනත අනුව. ඒ අනුව අපි කරන්නේ ඊයේ ලැබුණ යෝජනාව අනුව මේ අවුරුද්දට තියෙන විදුලි ඉල්ලුම හා එය සපයා ගන්නේ කුමන ආකාරයෙන් කියන එක අනුව ඉදිරියේදී එවලා තියෙන යෝජනාව අපි සැලකිල්ලට භාජනය කරනවා.” යයි ඒ මහතා සදහන් කරන ලදී.