උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් ගෝරනාඩු කරමින් යළිත් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිංහල මහා සමාජය සමඟ රණ්ඩුවකට අර අදිමින් සිටි. අනුප්‍රාප්තික ජනාධිපති වරයාගේ දෙවන රාජාසන කතාවෙන් පසු ජනමාධ්‍ය අමතමිනි. විග්නේෂ්වරන් පවසන්නේ කෙසේ හෝ ෆෙඩරල් පාලනයක් ලබා ගෙන මිස පස්ස නොබලන බවයි. 13 ට විරුද්ධව විරෝධතා පැවැත්වූ භික්ෂූන්වහන්සේලාට නිග්‍රහ කරමින් ඔහු නොරිස්සුම් ලෙසත් ආවේගශීලි වත් කතා කරයි.
උතුරේ ෆෙඩරල් වාදීන්ගේ මෙම තර්ජන ගර්ජන බියවැද්දීම් හා බලපෑම් හර්තාල් කළු කොඩි එසවීම ව්‍යවස්ථානුකූලව බලය බෙදන ලෙස ඉල්ලීම ස්වයංනිර්ණ අයිතිය වෙන්වී යාම වෙනම රාජ්‍ය සඳහා සටන් කරන බව පුන පුනා ප්‍රකාශ කිරීම අපට නුහුරු නුපුරුදු අලුත් දෙයක් නොවේ. අවුරුදු තිහක් ඒ වෙනුවෙන් ප්‍රභාකරන් ද යුද වැදුණේය. ශ්‍රී ලංකා රාජ්‍යය එම අභියෝගය හා තර්ජනය පරාජයට ද පත් කළේය.
දෙමළ ජනයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලෙස ඉන්දියාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප මත බලහත්කාරයෙන් පටවා එයද අඩු වැඩි වශයෙන් බලාත්මක කළ අතර වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති ලෙස ද උතුරු නැගෙනහිර ප්‍රථම පළාත් සභාවට පත් කළේය. වරදරාජා පෙරුමාල් ත්‍රිකුණාමලයේදී ඊළාම් කොඩිය ඔසවා ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කර ඉන්දියාවට පලාගිය අතර ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවට සාමය උදා වූයේ නැත. යුද්ධය නිමා වූයේ ද නැත. බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදය පිම්මේ වැඩෙමින් ඉදිරියට ගිය අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය. හිටපු ඉන්දීය විදේශ ඇමති වරයකු වන menan මහතා පසුගිය කාලයේ ප්‍රකාශයට පත් කළ කෘතියක සඳහන් වන ආකාරයට 30 අවුරුදු මෙම යුද්ධය නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ මුදල ඩොලර් බිලියන 200 කට වැඩි බව එහි සඳහන් කර ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයත් සිංහල දෙමළ මුස්ලිම් සමාජයත් ගෙව් වන්දිය අති විශාලය.
ඉන්දු ලංකා ගිවිසුම හේතුකොටගෙන දකුණේ ඇතිවූ කැරළි කෝළාහල වලින් කා උතුරේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ගේ දිග්ගැස්සුණු යුද්ධය නිසා ලංකා රාජ්‍යයට බරපතළ හානි හා සුවකළ නොහැකි තුවාල සිදු වූ බව අමුතුවෙන් කිව යුතු නො වේ .යුද්දය ජය ගත්තද ලංකා රාජ්‍ය බරපතළ ලෙස ආර්ථික හා සාමාජීය සංවර්ධනයෙන් ද ජන වර්ග අතර සහජීවනය හා සංහිඳියාවෙන් ද දුර්වල විය.
යුද්ධය නිමා වී වසර කිහිපයක් ගිය පසු උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභාව ස්ථාපිත කළ අතර එහි මහ ඇමැතිවරයා බවට පත්වූයේ සීවී විග්නේශ්වරන් ය. ඔහුගේ අවුරුදු 4ක මහ ඇමති ධූර කාලය තුළ උතුරු පළාතට සිදු වූ යහපතක් හෝ සුබ සිද්ධියක් ප්‍රගතියක් නැත . එම තනතුර ද බලතලද උපයෝගී කරගත්තේ ජාතිවාදය බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමට ය. මහ ආණ්ඩුව සමඟ ගැටීමට ය. ජාත්‍යන්තරයට ගතු කේලම් කියමින් සිංහලයින් කුපිත කරන්නටත් ආරක්ෂක හමුදා අවුස්සමින් තර්ජනය කරමින් යුද අපරාධ චෝදනා දමා ගසමින් එය ඉදිරියට ගෙන යන්නට වැඩ කළා මිස සංහිඳියාව වෙනුවෙන් වත් සංවර්ධනාත්මක දේශපාලනය වෙනුවෙන් වත් කටයුතු කළේ නැත.
වසර හතරක් මහ ඇමැති ධුරය දරා ඉන්පසු දෙමළ ජාතික සන්ධානයටද ආයුබෝවන් කියා දෙමළ ජාතික සන්ධානයට වඩා ජාතිවාදී වෙමින් දෙමළ ජනතාවගෙන් ඡන්දය ගෙන පාර්ලිමේන්තු පැමිණි විග්නේෂ්වරන් යලි ෆෙඩරල් තර්ජනාංගුලිය එල්ල කරමින් යුද්ධය නිමා වී වසර දාහතරකට පසුවත් සිංහල සමාජය කුපිත කරමින් ඇත. පහසුවෙන්. ගොඩ ඒමට නොහැකි ආර්ථික අර්බුදයක පරිහානියක ගිලී සිටින මෙවන් අවස්ථාවක වත්මන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා 13 බලාත්මක කිරීම කරලියට ගෙන ඒමෙන් ජාතික ඒකාග්‍රතාවය සංහිඳියාව දුර්වල කරමින් වාර්ගික විභේදන යකට නව වටයකින් අවශ්‍ය මනෝභාවයන් සිංහල දෙමළ මුස්ලිම් සමාජයන් තුළ කුළු ගන්වා ඇත.
අළු යට නිවී යමින් තිබෙන ගිනි පුපුරු පාදා උඩට ගෙන අවුළුවා ඇත. සුව වෙමින් තිබූ තුවාල ඔද්දල් කරඇත . නැති ප්‍රශ්නයක් ඇති කරමින්13 කරලියට ගෙන විග්නේශ්වරන්ගේ ෆෙඩරල් විකාරය තොරොම්බල් කරන්නටත් එයට අවශ්‍ය සිංහල සමාජයේ ප්‍රතිවිරෝධයන් අවුළුවමින් පවතින අර්බුදය තවත් අවුලෙන් අවුලට ගෙන යන්නට තිරපිටපත සකස් කර දුන්නේ අනුප්‍රාප්තික ජනාධිපති වරයාය. මේ මොහොතේ මේ කරුණු ඉදිරියට ගැනීම අරභයා ඉන් ඇති කරන අනිටු ප්‍රතිවිපාක වල සියළු වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු
ය.
කෙසේ වෙතත් දෙමළ ජාතිවාදී ආදි කර්තෘ නායකයින්ගේ ෆෙඩරල් තර්ජනය සැකවින් නමුත් ටිකත් හෝ සිහිපත් කළ යුතුව ඇත. හේතු නැති කාලයේත් දෙමළ නායකයින් සිංහල බහුතර පාලනයට එරෙහි වූ බව මතක් තබාගත යුතුය. ඉංග්‍රීසි ආණ්ඩුව රට තුළ ඡන්ද කොට්ඨාස බෙදීමේදී සිංහලයන්ට නිරායාසයෙන්ම ආසන බහුතරයක් හිමි වීම පිළිබඳවද එදාත් දෙමළ නායකයින් විරුද්ධ වූ අතර1921 ව්‍යවස්ථාදායකය තුළ සිංහල මහ ජාතිය හා සුළු ජාතීන් සමව නියෝජනය වීම ඉල්ලා සිටි අතර ජන වාර්ගික පදනම මත හැම ජන වර්ගයකටම සමානව නියෝජන දීමේ ක්‍රමය ඉල්ලා සිටියා. එදා ලාංකීය නිදහස් සටනේ නායකත්වය එනම් ලංකා ජාතික සංගමය නායකත්වය යාපනයේ දෙමළ ප්‍රභූ ජාතිකයෙකුට ලබා දුන්නද1921 ඡන්ද කොට්ඨාස ක්‍රමය යටතේ බස්නාහිර පළාතේ ආසනයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන් කළේ නැතැයි කියා අරුනාචලම් කොංග්‍රසයෙන් ඉල්ලා අස්ව ජාතිවාදී පදනමින් දෙමළ මහජන සභාව පිහිටුවා ගන්නා ලදී.1911 දී පොන්නම්බලම් රාමනාදන්ට ලැබුණේද1919 දී අරුණාචලම් ට ලැබුණේද ලංකාවේ ජනාධිපති කමට සමාන තත්ත්වයකි. එනම් දේශීය ජනතාවගේ ප්‍රධානතම නියෝජිතයා වීමේ වරම යි .එය පොන්නම්බලම් සොහොයුරන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි. නමුත් ඔවුන්ට තමන්ගේ දෙමළ කම අභිබවා ලාංකිකයින් වශයෙන් ඉස්මතු වීමට නොහැකි විය. අද වන විටද රටේ ජනාධිපති අගමැති තනතුරු දෙමළ අයෙකුට ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත්තේ එදා පොන්නම්බලම් සොයුරන් ඔවුන්ට ලැබුණු අවස්ථාව කානුවට දැමූ නිසාය. ශ්‍රී ලාංකික නොවී දෙමළ ජාතිවාදී අභිලාෂයන් ඉදිරියට ගැනීම නිසා පොන්නම්බලම් සොහොයුරන්ට සිදු වූ දේ ම ඔවුන් අනුගමනය කළ සියලු ෆෙඩරල් වාදීන්ට වූ අතර අද සම්බන්ධන්ට විග්නේශ්වරන්ට සුමන්තිරන්ට සිදුවී ඇත්තේද එයයි.
නිදහස ලැබීමට පෙර දෙමළ ජනතාවට සිංහලයන් අතින් සිදුවුණා යැයි කියන වරදවල් කිසිවක් ඒ වන විට සිදුවී තිබුණේ නැත. එකල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර තිබුණේ නැත. නැගෙනහිර පළාතේ ජනාවාස ඇති කර තිබුණේද නැත. විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමිතිකරණය කර තිබුණේත් නැත .72 ජනරජයක් වී තිබුණේද නැත. 83 ජූලියක් ඇති වී තිබුණේද නැත. නමුත් පොන්නම්බලම් සහෝදරයන් ලංකාව නිදහස ලැබීමටත් අවුරුදු විසි හයක් තරම් ඈත සිටම සිංහල බහුතර නියෝජනය ට එරෙහි ව්‍යාපාරයක් ගෙන ගිය අතර එය දෙමළ නායකයන් නිදහස ලැබීමට පෙර සිටම මේ ආකාරයට කිසිදු හේතුවක් නැතුවත් සිංහල දේශපාලන නායකයන් ගැන අවිශ්වාසයක් සිංහල ජනතාව ගැන අවිශ්වාසයක් දිගින් දිගටම ප්‍රකාශ කරන විට එම අවිශ්වාසයේ පරාවර්තනයක් අනෙක් පැත්තෙන් ද ඇතිවීම නොවැළැක්විය හැකිය එය ස්වභාවිකය .
බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ සිංහල මහජන සභාව බිහි වූයේ 1937දී ය. නමුත් පොන්නම්බලම් යටතේ දෙමළ මහජන සභාව බිහි වූයේ මීට අවුරුදු දහයකට පෙර 1921 දී ය. සිංහලයා මේ රටේ නායකත්වය ගැනීමට නොසුදුසුය යන ආකල්පය දෙමළ නායකත්වය තුළ මූලාරම්භයේ සිටම තිබුණු ආකල්පයකි. තමන් පාලනය කිරීමට සිංහලයින් පොඩි වැඩි යන ආකල්පය හා අධිමානසිකත්වය ඔවුන් තුළ දිගටම පැවතුණු අතර එය පසුව g g ponnambalam , SJV chelvanayakam , අමිර්තලිංගම් සම්බන්ධන් විග්නේෂ්වරන් , දක්වා ඉංග්‍රීසි යටත් විජිත පාලනය විසින් බෙදා පාලනය කරමින් ගොඩනැගූ දෙමළ ප්‍රභූ මනෝකාය අද දක්වා විකාශනය වී පැමිණ ඇත.
1949 චෙල්වනායගම් තමිල් අරුසු කච්චි පක්ෂය හෙවත් ෆෙඩරල් පක්ෂය පිහිටුවූයේ දෙමළ ජාතිය පාලනය කිරීමට සිංහලයින්ට සුදුසුකම් මදිය යන දෙමළ නායකයින් තුළ කවදත් තිබුණු මේ අදහස මුදුන්පත් කර ගැනීමේ අරමුණ නි. ඒ. ජේ .විල්සන් විසින් පළ කර තිබෙන චෙල්වනායගම්ගේ චරිතාප්‍රදානය මේ අදහස මොනවට සනාථ කරයි. chelvanayakam දිගටම අනුගමනය කළේ සිංහල ජාතියත් දෙමළ ජාතියත් විරසක කිරීමේ වෙන්කිරීමේ ක්‍රියා පිළිවෙතයි. g g ponnambalam අනුගමනය කළේ සිංහලයන් සමග සහයෝගයෙන් රාජ්‍ය බලය හෙබ වීමේ ක්‍රියා මාර්ගයයි. වර්තමානයේ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මෙනි.1949 සිට1952 දක්වාම chelvanayakam දේශනා කළේ ද කිසිදු සාධාරණ හේතුවක් නැතිව වෙනම දෙමළ රාජ්‍යයක් ගොඩනැගීමේ උවමනාවයි.1952 වනතුරුත් ඔහුට හේතු පැමිණියේ නැත. එම නිසා එම වසරේ දී පවත්වන ලද මහා මැතිවරණයෙන් චෙල්වනායගම් ට තම පාර්ලිමේන්තු අසුන ද අහිමි විය. එල්ලෙන්නට වැලේ වැල් නැතුව සිටි chelvanayakam ට1956 සිංහල භාෂා පනත ආශිර්වාදයක් වුවද දෙමළභාෂා විශේෂ විධිවිධාන පනත ඒ සමඟ ඉදිරිපත් වූ අතර ඔහු එය දෙමළ සමාජය තුළ යටපත් කළ අතර කූට ලෙස 1957 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමටද මග පෑදුවේය.
1957 bandaranaike-chelvanayakam ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් උතුරු නැගෙනහිර මේ ප්‍රශ්නය විසඳීමට ඉඩ තිබුණු බව බොහෝ අය ප්‍රකාශ කරති .නමුත් ඒ ජේ විල්සන් ගේ කෘතිය පරිහරණය කිරීමෙන් එසේ නොවන බව පැහැදිලි වේ .චෙල්වනායගම් සියලුම ගිවිසුම් සැලකුවේ වෙනම රාජ්‍යයක් නැතහොත් ෆෙඩරල් රාජ්‍යයක් කරා යන ගමනේ අතරමැදි විසඳුම් හැටියටය. චෙල්වනායගම් තුළ වූයේ දැන් ටිකක් පසුව ගොඩක් හා ඉතිරිටිකත් ඉන්පසු ගමු .යන ප්‍රතිපත්තියයි. අද විග්නේෂ්වරන් ප්‍රකාශ කරමින් සිටින්නේත් අදියර කිහිපයකින් එම අරමුණ කරා යාමටයි. එම අරමුණු කරා යාමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විවිධ උපාය මාර්ග පාවිච්චි කරති. ඒ තුළ පමණක් ඔවුන්ගේ වෙනස්කම් හා භාවිතාවන් ඉල්ලීම් තනුක භාවයන් වෙනස් තත්වයන් හඳුනාගත හැක.
එසේ නම් විග්නේශ්වරන් හා ෆෙඩරල් වාදීන් ඉල්ලා සිටින ෆෙඩරල් රාජ්‍යයේ හා අප කියන ඒකීය රාජ්‍යයේ වෙනස සැකවින් ඉදිරිපත් කර මෙම ලිවීම අවසන් කරන්නෙමි.
ෆෙඩරල් රාජ්‍යයක් හෙවත් සන්ධීය රාජ්‍යයක් යනු පුළුල් ලෙස බලය බෙදූ රාජ්‍යයක් නොවේ. පරිධියට එනම් ප්‍රාන්තයට , පළාතට, හෝ ඊට වඩා කුඩා ඒකකයකට බෙදූ බලය පරිධියේ කැමැත්තෙන් තොරව ආපසු ගත නොහැකි නම් එය පෙඩරල් රාජ්‍යයකි. පෙඩරල් පාලනයකි. පරිධියේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව බෙදූ බලය ආපසු ගත හැකි නම් එය ඒකීය රාජ්‍යයකි.
විග්නේශ්වරන් ඉල්ලා සිටින්නේ ආපසු ගත නොහැකි බලයකි. එනම් ෆෙඩරල් පාලනයකි. එබැවින දෙමළ නායකයින් ඇසීමට කැමති මෙවැනි මිහිරි වදන් තෙපලීම රැවටීම දැන්වත් රට කරන නායකයින් නතර කළ යුතුය.
එමෙන්ම විග්නේෂ්වරන්ගේ මේ ගෝරනාඩුව මතවාදී වත් දේශපාලනික වත් ව්‍යවස්ථානුකූල රාමුව තුළ ද ප්‍රජාතන්ත්‍රීය ලෙස පරාජය කළ යුතුය. මෙවැනි අවස්ථාවක අතිශයෝක්ති පසෙක තබා එක සීමාවකින් ඔබ්බට යන්නේ නැතැයි තරයේ පැවසිය යුතු ව්‍යවස්ථානුකූල අවස්ථාවක් උදා වී ඇත .එය ප්‍රකාශ කිරීමට කශේරුකාවක් හා පෞරුෂයක් තිබෙන ජාතික නායකයෙක් රටට අවශ්‍ය ය.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ✍
2023.02.10