පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කරන ලදී. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද අද (14 ) දිනයේ මැතිවරණ කොමිසම වෙත කැදවා ඇති බව කියයි.
මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම ඡන්ද පත්‍රිකා සදහා මුදල් ලබා දී ඇත්තේ මැතිවරණයෙන් පසුව බවත් නමුත් රජයේ මුද්‍රාණාලය ලිඛිතව තම කොමිසමට දැනුම් දී ඇත්තේ මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බවයි .ඔහු වැඩි දුරටත් සදහන් කරනු ලැබුවේ මීට පෙර පැවති මැතිවරණවලදී මැතිවරණ පැවැත්වීමට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් ලබා දී නොමැති බවයි.
එමෙන්ම මැතිවරණ කටයුතු සදහා ඉල්ලූ මුදල මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරන ලදී.