ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.
එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්ව විද්‍යාලය පේරාදෙණිය වූ බව ද උපකුලපතිවරයා කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සමරු හා සිහිවටන අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (23) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් එළිදක්වන ලද සමරු තිළිණ, සිහිවටන, විශ්ව විද්‍යාලයේ ලාංජන සහිත ඇදුම් ආදිය අලෙවි කිරීම මෙම ස්ථානයේදී සිදුවේ.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතා, විශ්ව විද්‍යාල දොළොස්දහසක් සහ උසස් අධ්‍යාපන ආයතන තිස්දහසක් පමණ යොදාගනිමින් මෙම වර්ගීකරණය කොට ඇතැයි ද ප්‍රකාශ කළේය.
ලොව විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කර ඇත්තේ විශිෂ්ටත්වයේ දර්ශක දහ තුනක් හරහා ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම් ව බව කී උපකුලපතිවරයා, එම දර්ශක ගෝලීය පර්යේෂණ කීර්තිය, කලාපීය පර්යේෂණ කීර්තිය, ප්‍රකාශන, සම්මන්ත්රණ ආදියෙන් අන්තර්ගත වූ බව ද කීවේය.
එමෙන්ම සාමාන්‍යකරණය කළ උපුටා දැක්වීම් බලපෑම, සම්පූර්ණ උපුටා දැක්වීම්, උපුටා දක්වන ලද මුළු ප්‍රකාෂණ වල ප්‍රතිශතය , ජාත්‍යන්තර සහයෝගිතාව කෙරෙහි ද මෙම වර්ගීකරණයේදී විශේෂ අවධානයක් යොමු කොට ඇතැයි ද සඳහන් කළේය.
මෙවැනි ශ්‍රේණිගත කිරිමට පත්වූ මෙරට එකම විශ්ව විද්‍යාලය පේරාදෙණීය වූ බව කී උපකුලපතිවරයා ඒ වෙනුවෙන් දායකවූ ආචාර්යය මණ්ඩලය, අනධ්‍යයන කාර්යය මණ්ඩලය උපාධි අපේක්ෂක සිසුන් ඇතුලු සියලු දෙනාට කෘතවේදී වන බව ද තව දුරටත් සඳහන් කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
සරත් සමරනායක