අද (18) අලුයම ජබපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වේ.
මෙවර සමුළුව 21 වන අඟහරුවාදා දින අමෙරිකානු ජණාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ “කොවිඩ් – 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම ,මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ,22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතව ඇති අතර සැසිවාරය අතරතුර දී ජනාධිපතිවරයා ,රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බව යි.
එසේම ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සංචාරයට එක්ව ඇත.