වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු උසස් පොලිස් නිලධාරීන් ගණනාවක් එක්වරම මාරු කිරිමට හේතුව වී තිබෙන්නේ, පාතාලයටත් වඩා ම්ලේච්ච කණ්ඩායමක් ලෙස හැසිරී තිබෙන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ස්ථානමාරුව ඊයේ රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේඛම්ගේ අංක 02/08/SGO/02/2023 දරණ 2023 .03 .28 දිනැති ලිපියට අනුව එසේ ස්ථානමාරු කර තිබේ.
නවගත්තේගම පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහර දී ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් අසළ දමා ගොස් තිබෙන බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් , පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනක් නවගත්තේගම පොලිසිය මගින් ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී, පැහැරගෙන ගොස් කනත්තක් අසළ දමා ගොස් තිබෙන සිද්ධියකට සම්බන්ධව මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ආණමඩුව පොලිස් ස්ථානයට පැමිණ බාරවීමෙන් පසුවය. ඔවුන් පස් දෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කිරීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම මෙම සිද්ධියට අදාළව සියලුම සාක්ෂි තිබෙන බවද වාර්තාවන අතර නීතිය සැමටම පොදු විය යුතුය. විශේෂ කාරය බලකාය වැනි වැදගත් ආයතනයක නිලධාරීන් මීට වඩා වැදගත් විය යුතුය. ඔවුන් මේ අකාරයෙන් අවස්ථා කිහිපයක දී කටයුතු කර තිබුණි. ඔවුන්ගේ නීතිවිරෝධී ම්ලේච්ච ක්‍රියා වලින් සිදුවන්නේ එම විශේෂ සහ වැදගත් මහජන ආයතනයද විනාශයට ලක් වීමය. නීතියේ රැකවරණ පතාගෙන පොලිසියට යන චුදිතයන්, පොලිස් රැකවරණ මත සිටියදීම විශේෂ කාරය බලකා නිලධාරීන් පැහැරගෙන ගිය අවස්ථාද තිබේ. මෙවැනි වැදගත් මහජන ආයතන සුරක්ෂා කිරිම බලධාරීන්ගේ වගකීම වුවත්, වර්තමාන වගකිව යුත්තන්ට එවැනි අවශ්‍යතාවයක් නැති බව පැහැදිලිවම දක්නට තිබේ.
එසේම (Bodaragama V.Dayananda SC (FR) 128/95 SCM 28.05.98), නැමති නඩු තීන්දුව මගින් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් නගනු ලබන හුදු චෝදනාවන් පමණක් අධිකරණයේ මැදිහත්වීම සදහා ප්‍රමාණවත් නොවන බවද, Mahindarathna V. jayasinha SC (FR) 28/95 SCM 10.10.97 යන නඩු තීන්දුව මගින් වර්ෂයේ මැදදී සිදුකරනු ලබන ස්ථාන මාරු කිරිම් සම්බන්ධයෙන් පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් නොකරන්නේ නම් අධිකරණය මගින් එවැනි ස්ථානමාරු නියෝග අවලංගු කිරීමට කටයුතු කෙරෙන බවද, ආදී ලෙස තවත් නඩු තීන්දු ගණනාවක්ම ස්ථාන මාරුවීම් සම්බන්ධව තිබේ.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් එක්වරම මාරු කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එය වරදකි. වරදක් කළේ නම්, එයට සාක්ෂි තිබේ නම්, ඔවුන්ට අවශ්‍ය නීතිය අකුරටම ඉටුකර මහජන ආරක්ෂාව සැලසීම රජයේ වගකීම වේ. රජයේ වගකීම ඉටුකරන පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ නීතිය අකුරටම ඉටු කිරීමය. ආයතන සංග්‍රහයට අනුව මෙසේ එක් වරම ස්ථානමාරු කිරිමද වරදකි. සේවා අවශ්‍යතාවය මත මාරු කිරිමද සාධාරණ විය යුතුය. යම් පුද්ගලයෙකු පොලිස්පතිවරයාට බලපෑම් කරමින් මෙය මෙසේ සිදුකළේ නම් ඔවුන් තෙන්නකොන් ඒ. ද සිල්වා නමැති නඩු තීන්දුව කියවා ගත යුතුය. එම තීන්දුව තුළ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මාරුකිරිම් පිළිබදව වැදගත් මාර්ගෝපදේශයන් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් නීතිය නිසි ලෙස ඉටුකිරිමට ගොස් මෙසේ ස්ථාන මාරුවීම් ලබා දෙන්නේ නම් එය වැරදි බවද පැහැදිලිය. මෙවැනි කටයුතුවලින් තව දුරටත් පොලිස් දෙපාර්තමේන්තුවේ තත්වය හීන වේ. පොලිස් දෙපාර්තමේන්තුව යනු මහජන ආයතනයකි. මෙම ස්ථානමාරුවට වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් සී මැදවත්ත ද ඇතුළත්ව තිබේ.