මේ වන විට මුතුරාජවෙල ප්‍රදේශයේ තෙත් බිම ආශ්‍රිතව මිනිසුන් විසින් මරා දමන ලද අඳුන් දිවියන්,වල් බළලුන් සහ කොළ දිවියන් වැනි සතුන්ගේ මළසිරුරු මහමග අද්දර දමා යන අවස්ථා සුලබව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රදේශයේ නිවෙස්වල ඇති කරන ඇතැම් සතුන් දඩයම් කිරිමට කඩාවදින මෙම දිවියන් වැනි සතුන්ට ප්‍රදේශවාසීන් විසින් උගුල් අටවා ඔවුන් මරා දමා නීතියෙන් ගැලවීම සඳහා එම මියගිය සතා මහමග අද්දරට ගෙනත් දමා ඇති බව මේ වන විට තහවුරු වී ඇත.
රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව මුතුරාජවෙල ආශ්‍රිතව සිදුවන මහා පරිසර හානියට පින් සිද්ධවෙන්න මෙම සතුන්ට කන්න ආහාරයක් බොන්න වතුර ටිකක් සොයා ගැනීමට නොහැකිව ඉන්න වාසභූමියක් නොමැති වීම හේතුවෙන් ඔවුන් නිවාස අශ්‍රිත පරිසරයට පැමිණෙන අතර එහිදී ද ඔවුන්ට හිමිවන්නේ මෙවන් ඉරණමකි.
මේ සම්බන්ධයෙන් විනිවිද මාධ්‍ය ජාලය විසින් හෙළිදරව්වක් සිදු කර ඇති අතර එහි දී විමසන පැනයකට පිළිතුරු දෙමින් පමුණුගම බෝපිටියේ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්යක්ෂ පරිසරවේදී අරුණ වීරසිංහ මහතා සඳහන් කර ඇත්තේ , “මේ පරිසර පද්ධතියේ ජීවත්වන ඔය කියන සත්ත්ව විශේෂ තුන සම්බන්ධයෙන් පෙරට වඩා අන්තරාකාරී තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා.ඔවුන් වඳවී යාමට මතුපිටින් පේන එක හේතුවක් තමයි මේ ප්‍රදේශයේ මාර්ග කාපට් කිරීම මුල් කරකොට රථවාහන වේගය වැඩි වීම නිසා ඔවුන් රිය අනතුරුවලට ලක්වීම.නමුත් මහ පාරවල් අයිනෙ දකින්න ලැබෙන ඔය හැම වනජීවියගෙම මරණයට හේතුව රිය අනතුරක් බව නිශ්චිතව කියන්න අපට බැහැ.සමහරවිට තමන්ගෙ වාසස්ථාන අශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන ඔවුන් රහසිගතව මරා නීතියෙන් ගැලවීමට සමහරුන් ඒ සතුන්ගේ මළසිරුරු ඒ අශ්‍රීත වෙනත් ප්‍රදේශවලට ගෙනත් දමනවා වෙන්න පුළුවන්…”
2009 වසරේ අංක 22 දරණ වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) ආඥා පනතට අනුව අඳුන් දිවියා ,වල් බළලා සහ කොළ දිවියා යන මෙම මුතුරාජවෙල ආශ්‍රීතව ජීවත් වන වන ජීවීන් විශේෂ තුනම දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයන් ලෙස නම් කර ඇත.
සමස්ත මුතුරාජවෙල අභයභූමියේ දී හෝ දිවයිනේ වෙනත් ඕනෑම ප්‍රදේශයකදී උවද මෙම වන ජීවියෙකු ඝාතනය කිරීම බලපතළ අපරාධයක් වන අතර රු.30,000කට නොඅඩු රු.100,000කට නොවැඩි දඩමුදලක් සහ වසර 02කට නොඅඩු වසර 05කට නොවැඩි සිර දඬුවමක්ද නියම කිරීමට අධිකරණයට බලය ඇත.
කෙසේ වෙතත් වරක් මෙම මුතුරාජවෙල මහා පරිමාණයෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව සොයා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පැමිණ ඇති අතර එහිදී ඔහු එම පරිසර සංහාරය මැඩලීමට උපදෙස් ලබා දුන්නද එය හුදෙක් හිස් වචන පමණක් බවට පත් කරමින් අද වන විට මෙම මුතුරාජවෙල පරිසර පද්ධතිය පෙරටත් වඩා විනාශයට පත්ව ඇති අයුරු මනාව පෙන්නුම් කරන බවයි “විනිවිද” මාධ්‍ය ඒකකය වාර්තා පල කර ඇත්තේ.