දැරියට ආ දුරකථන ඇමතුමක් සමඟ ‘මම ආවේ ඔයාලව විශ්වාස කරලයි. මාව රැවට්ටුවා. මම දැන් මොනවද කරන්නේ’ යැයි කියමින් දැරිය කාමරයේ ජනේලය අසලට ගොස් පුටුවක් තබා ජනේලයෙන් එළියට පැන්නා. ඒ සිදුවීමට බය වෙලා මමත් හෝටලයෙන් පැනලා ගියා’’ යැයි කළුතර ප්‍රදේශයේ පස් මහල් හෝටලයක තුන්වැනි මහලේ කාමරයකින් වැටී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු කළුතර දකුණ පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.
මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 07 වැනිදා කළුතර රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැති අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නිර්දේශ කර තිබේ.
එසේම මේ සිසුවියගේ මරණය සිදූවූ මොහොතේ ඇය දූෂණයට ලක්ව නොමැති බවද අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.
කෙසේ වුවද, සිසුවියගේ ශරීරයේ දත් පහරවල් හා සීරීම් තුවාල ද දක්නට ඇති බවද සදහන්කර ඇත.
පබසරා නමැති ඇගේ යෙහෙළිය සහ ඇයගේ පෙම්වතා වන ඉහාන් විසින් මෙම සිසුවිය ගෙන්වාගෙන ඇත්තේ ඇය මුදලට අලෙවි කිරීමට බව මූලික විමර්ශන මඟින් තහවුරු කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය නන්නාඳුනන පුද්ගලයකු හා කාමරයේ නවතා ඇය තවත් පුද්ගලයකුට විනෝදය සඳහා රඳවා යෑමට පෙළඹවීම පබසරා නමැත්තිය විසින් සිඳුකර ඇති බවත් සම්බන්ධීකරණය ඇයගේ පෙම්වතා විසින් සිඳුකර ඇති බවටත් මේවන විට තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.
සැකකරු වැඩිදුරටත් මෙසේද පාපොච්චාරණය කර ඇත.
‘‘මම ඉහාන්ව කලක සිට හඳුනනවා. ඔහු මගෙන් මුදල් ගණුදෙනු කරගෙන තිබෙනවා. ඉහාන්ගේ මාමාගේ මෝටර් රථ ගනුදෙනුවකින් තමයි මම එයා හඳුන ගත්තේ. අපි නිතර නිතර හමුවෙනවා. ඉහාන් 06 වැනිදා මගේ මෝටර් රථයෙන් කළුතර නගරයට ආවා. දහවල් රෙස්ටුරන්ට් එකකින් කෑම කෑවා. සවස ඉහාන් එයාගෙ පෙම්වතිය හා දැරිය සමඟ ආවා. මීට කලින් මම විහාරව දැක තිබුණේ නැහැ. එදා තමයි මුලින්ම දැක්කේ. ඉහාන් කලින්ම හෝටලයේ කාමර බුක් කරගෙන තිබුණා. අපි හතර දෙනා මගේ මෝටර් රථයෙන්ම හෝටලයට ගියා. අපි එහිදී මත්පැන් පානය කළා. පස්සේ ඒ දෙන්නා අනිත් කාමරයට ගියා. විහාරයි, මමයි එක කාමරයේ හිටියා. මම එයාව බාහිරව ආශ්‍රය කළා. නමුත් දූෂණය කළේ නැහැ. එයා ඇඳුම් ගලවලයි හිටියේ. ඒ වෙලාවෙදී එයා බීලා හිටියෙත් පාලයෙන් තොරව. මේ වෙලාවෙදී එයාට දුරකථන ඇමතුම් දෙකක් ආවා.”
මේ අතර, දැරියගේ අවසන් කටයුතු කළුතර, ඇටවිල පොදු සුසාන භූමියේදී ඊයේ (09) සිදුවිය.
(Lanka Mirror)