ශ්‍රී ලංකා යුධ හමුදාවේ සමහර නිලධාරීන්ගේ වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා හෙළිකරමින්, එම නිලධාරීන්ගේ අකටයුතුකම් රජයට දැනුම් දීමට කටයුතු කල මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් අද (මැයි 16) දින නිකුත් කරන ලද බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක කර්නල් නලීන් හේරත් විසින් වට්ස් ඇප් සමුහ වෙත යොමුකළ පණිවිඩයක දැක්වේ.
ඔහුගේ පණිවිඩයට තුල සදහන් වන්නේ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානිපමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව ගරු දිසා අධිකරණයේ පවරා ඇති නඩුව අද දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇති බවයි.
ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව එක් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බවද ඔහු සදහන් කර තිබේ.
තවද මෙම නඩුවට ගොනුකර ඇති සාක්ෂි පැමිණිලිකරු සම්බන්ධයෙන් අන්තර්ගත වී ඇති කරුණු පළමු විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය හෝ විත්තිකරුවන් දෙදෙනාම විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් සියළුම සමාජ මාධ්‍ය ගිණුම් තුළින් තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව ද ගරු අධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.
මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ඉශාන් අලවතුරගේ යන මහත්වරුන් පෙනී සිටි බවද සදහන් වේ.
මෙම නඩුව මැයි මස 30 වන දින යලි කැඳවීමට නියමිත බවද සදහන්ය.
ශ්‍රී රාවණා ලංකා සටහන
චමුදිත සමරවික්‍රම මහතාගේ මෙම යු ටියුබ් නාලිකාව තුලින් බොහෝ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා හෙළිදරව් කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ පොදු ප්‍රශ්නද හෙළිකර තිබේ. ආයතනයක් ලෙස ප්‍රශ්නවලට නිසි පිළිතුරු, සාධාරණ පිළිතුරු නොලැබෙන විට ඒවා මාධ්‍ය මගින් සමාජ ගත වේ. වර්තමානයේ එය බහුලව සිදුවන්නේ ගෝලීයකරණයත් සමගය. බොහෝ පාලකයන් ගෝලීයකරණයේ සැබෑ තත්වය හදුනාගෙන නැත. කමල් ගුණරත්න මහතා කල යුත්තේ ඔවුන් හෙලිකල කරුණුවලට අනුව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ සිදුකලේ නම් මොවුන් සියලුම දෙනා ඔහු වෙනුවෙන්ද පෙනී සිටිනු ඇත. කෙසේ නමුත් අධිකරණයේ පිහිට පැතීමට ඕනෑම පුද්ගලයකුට අයිතියක් තිබේ. එසේම යම් පුද්ගලයෙකු යම් තොරතුරක් ඉදිරිපත් කල විට එයට වහාම ක්‍රියාත්මක වී අසාධාරණයට ලක්ව සිටින පාර්ශ්වයන් වෙනුවෙන්, හිතවත්කම් පසෙක දමා නීත්‍යානුකූලව කටයුතු කිරීම නිසි බලධාරියාගේ වගකීම වේ. අධිකරණ නියෝගයට අප කවුරුත් ගරුකරමින්, අනෙක් පාර්ශ්වයටද සමානව අධිකරණය මගින් ලබා දී තිබෙන නීතිමය අයිතිය භාවිතා කල යුතුය.
කෙසේ නමුත් මෙම නඩුවට හේතුව වන නාලිකාවේ තිබෙන කරුණු ඉදිරිපත්ව තිබෙන්නේ මහජනතාවගෙන් වැටුප් ලබාගන්නා තනතුරේ සිටියදී සිදුකරනු ලැබූ කරුණු සදහාද, එසේ නැතිනම් තමන්ගේ පෞද්ගලික කටයුතුවලදී සිදුව තිබෙන හානි සම්බන්ධවද යන්න අනාවරණය නොවේ. එසේම මෙම දෙදෙනා අනාවරණය කල තොරතුරුවලට අනුව ආරක්ෂක ලේඛම් ලෙස අවශ්‍ය පරීක්ෂණ සිදුකළේද යන්නද අනාවරණය නොවේ.
කල යුත්ත සහ නොකළ යුත්ත, කල යුත්තේ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. නීතියට පරිබාහිරව කටයුතු කිරිමෙන්, ලැබෙන ප්රතිපලද යම් දිනයක ලැබෙනුයේ නීතියට අනුව හෝ සොබාදහම මගිනි. තමන් කළකම් පලදෙන විට කළ මෝඩකම් මතක් වී, බුද්ධිය මතුවන විට විය යුතු සියල්ලම සිදුව තිබීමෙන් ඒවා ආපසු හැරවිය නොහැකි තත්වයට පත් වේ. එබැවින් මේවා අප කාට කාටත් ඉතාම හොද පණිවිඩ සහ පාඩම් බව වර්තමානයේ සිතිය යුතු අතර අනාගතයේ සිදුවන්නේ කුමක්ද යන්න යමක් කිරීමට පෙර සිතිය යුතුමය. ආරක්ෂක ලේඛම්වරයා මේ වන විටත් ජාත්‍යන්තරය හමුවේ විවිධ චෝදනාවලට ලක්ව සිටින බැවින්, අනාගතයේදී ඔහු තනිවීමට තිබෙන ඉඩකඩ වැඩි බැවින්, අපගේ දැක්ම සහ අපට පෙනෙන පරිදි, ඔහු සියල්ලම විචාරශීලිව විමසිය යුතුය. එසේ විමසමින් විශ්‍රාමික රණවිරු ප්‍රජාව සමග සමීප වෙමින්, ඔවුන් ඉදිරිපත්කරන ප්‍රශ්න කඩිනම්ව විසදිය යුතුය.
ඒවා විසදුවේ නම්, වර්තමාන ආරක්ෂක ලේඛ්ම්වරයාට එරෙහිව යුධ හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින විවිධ තනතුරු දරණ නිලධාරීන් ඔහුට විරුද්ධව තොරතුරු ලබා දෙන්නේද නැත. එසේම මාධ්‍යවේදීන් තරහ කරගැනීම තවත් ආකාරයකට අවාසියකි. රටේ තත්වය මනාව වටහාගෙන, තව මාස කිහිපයක් යන විට කුමක් වේවිද යන්න සිතාබලා කටයුතු කිරිම ඔහුගේ පෞද්ගලික ජිවිතයට වැදගත්ය.