මහාවන මැද දිවිගෙවන සුරූපී ලදුන්.
සුන්දර කාන්තාවක් තම සුරූපී දියණිය සමඟ මහා වන මැද තනියම ජීවත් වනවා යයි කිවොත් ඔබ නිසැකයෙන්ම පුදුම වනු ඇත. එහෙත් එය සත්‍යයක් මිස මුසාවක් නොවේ. ඒ වෙන රටකත් නොවේ. මේ ශ්‍රී ලංකාද්වීපයෙමයි. අපගේ හිතවතෙකු මාර්ගයෙන් කනට වැටුණු මේ මව් සහ දුව සොයාගෙන තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සමග රාවණා පරපුරට පෙම්බදින අපේ කණ්ඩායමක්ද මේ ගැන විපරම් කරන්නට ගියේ කුකුසක් ඇතිවයි. අපට සිතුනේ මේ පිස්සු ගැහැණියක් වන්නට ඇති කියාය. අපගේ පරමාර්ථය වුයේ මේ ගැන සොයා බලා සමාජයට යම් පණිවිඩයක් තබන්නයි. සැබවින්ම ඇය ජනතාවක් සුරකින සත්‍ය රාජිනියකි. මේ ඒ කතාවයි.
අහස් කුසස් නොපෙනෙන බිමක සිට අප අහස් කුස සෙවිමට වෙහෙස දැරුවෙමු. තුරු අතු අගිසි මතින් වරින් වර අහස පෙනිනි. රෑසියන්ගෙ අමිහිරි නද ගිනි මද්දහනේද තොරතෝංචි දෙයි. දහඩිය මුගුරු දාගෙන වත්මන් වන රැජිනිය සොයාගෙන මීරිගම පුරවරයට ගියද ඇයගෙ රාජධානිය ට පිවිස විගස දාබිදු නිවා දැමුනේ හාස්කමකින් මෙනි. ප්‍රධාන මාර්ගයෙන් ඇයගේ රාජධානියට පිවිසෙද්දි වෙනම ලොවකට පිවිසුනා සේ අපට දැනුනේ අපගේ මහන්සියද යම් තරමකින් නොව සම්පූර්ණයෙන්ම නිවා දැමු නිසාවෙනි.
අප මේ වන රැජිණිය සිටින වනයට පිවිසි පසු අපට ඇය මුනගැසුනේ තනිවම නම් නොවේ. තවත් සුරූපී තරුණියක් සමගය. ඈ අන් කවුරුත් නොව මේ රැජිනගේ දියණියයි. මහා වන මැද හමු වූ ඔවුන් අපව ඉතාම ලෙන්ගතු අයුරින් පිලිගත්තාය. අප ඔවුන් සමග කතාවට වැටුනෙමි.
“මගේ නම කාවින්ධ්‍යා ජයසේකර” ඇය තම හඩ අවධි කාලය.
“මගේ සිංහරාජය තමයි මේ.ඇත්තම කියනවනම් මේක මගේ පුද්ගලික හෙවන් එක පුද්ගලික නිවහන” ඇය සිනාසෙමින් කීය.
පාසැල් අධ්‍යාපනයෙන් ඉක්බිති ඇය ලංකාවේ කාන්තා හා ජාතික පුවත්පත් ගණනාවක විශේෂාංග ලේඛිකාවියක ලෙස කටයුතු කළ ඇය ඡායාරූප මාධ්‍යවේදිනියක්ද විය. “ ඇගිලි ගණින ඇගිලි තුඩු ,හිතදෙන්නම් අරන්යන්න” නවකතා දෙකක් පළ කළ ඇය “අනියම් බිරිඳ”, නමින් තෙවන නවකතාව කළඑළි දැක්මට සුදානම් වී සිටින්නීය.
පරිසරයට ආදරය කරමින් සිය වෘත්තිය අතික්‍රමණය කරමින් සිය දියනිය සමග මහාවන මැද වසර එකසිය පනහකට අධික පැරනි නිවසක සිය දියනිය සමග ජීවත් වීම අපට කුකුසක් ඇති කළේය. ඇය තම හඩ අවධි කළේය.
“මම හැදුනේ ගොවි තාත්තෙකුගෙයි ගුරු අම්මලා තුන් දෙනෙකුගෙයි සෙවනෙ.මගේ ළමා විය හරිම ආශ්වාදනීය යුගයක්.මගේ තාත්තා මට මේ පරිසරයත් ගහකොළත් ඇළ දොළත් එක්ක හැදෙන්න නිදහස දීල තිබුනා .ඒ නිසා මගේ කුඩා වියේ ඉදලම මම අවබෝධ කරගත්තා අපිට වගේම ගහකොළට මහා පොළවටත් පන තියෙනව කියල.එයාල රිදුනොත් අපිට වගේම දුක දැනෙනව කියල.ඒ නිසා මම හැම මොහොතකදීම පරිසරයත් එක්ක ජීවත් විමේ විනය ඉගෙන ගත්තා. මගේ තාත්තා ගොවියෙක්. අම්මයි, අපේ ගෙදර අවිවාහකව සිටි ලොකු අම්මල දෙන්නත් ගුරුවරු ඒ දෙන්නට මම කතා කලේ “දොම්ම” , “චුම්ම” කියල”.
“මම තාත්තගෙ අතේ එල්ලිල කුඹුරට යනකොට, ඒ මාර්ගය දෙපැත්තෙ වතුවලට, පාර අයිනට, ඉහින්න කොස් , දෙඵම් , වෙරළු, අනෝදා වට්ටක්කා වගේ පළතුරු එළවලු ඇට අරන් යනවා.තාත්ත කුඹුරු කොටනකම් මම නියරට වෙලා ඉර බහින හැටි චිත්‍රයට නගනවා.”
ඇය සිය අතීතාවර්ජනය දිගහැරියේ එලෙසිනි. වනයක ජීවත් වේනම් ඒ සදහා සුවිසාල විනයක් හික්මීමක් තිබිය යුතුමයි. අපා දෙපා සිව්පා සතුන්ගේ සේම අහිංසක විෂගෝර සතුන්ගේ එකතුවෙන් සැදුම් ලද මහාවනයක දිවි ගෙවද්දි ඒ සියලු දේ අවබෝධ කරගත යුතුයි. ඒ සියලු දේ උරුම කරගනිමින් මහා වනයක ජීවත් විමට ඉඩ ලැබීම සංසාර ගත පිනක් යැයි ඇය සදහන් කරයි.
“මගේ පුද්ගලික පරිසරයක් වුනත් සමස්ත ප්‍රදේශවාසි ලංකාවාසි සියියලුම දෙනා ගැන හිතලයි මේ පරිසරය ආරක්ෂා කරන්නෙ. මේ තුලින් හොද වාතාශ්‍රයක් පිරිසිදු ජලයක් සමස්ත ප්‍රජාවටම බෙදා හැරෙනවා. මම වගේම මගේ දියනිය දේවින්ධ්‍යා ජයසේකරත් මේ පරිසරයට මේ ගහකොළටත් ආදරෙයි. අපි මේ පරිසරයට ආදරය කරනව වගේම පරිසරයෙනුත් අපිව ආරක්ෂා කරනවා. අපේ එදිනෙදා ආහාර පිරිමැසිමටවත් මේ පරිසරය ඉවහල් කරගන්නෙ නෑ. සැම මොහොතකදිම අපි මේ පරිසරය රකිනවා..එම නිසාම අපේ රූපලාවන්‍යයේ ඉදලම ජීවිතයේ සෑම කටයුතු වලදීම අපව ආරක්ෂා කරනවා. අපි කවදාවත් බටහිර ඖෂධයට වියදම් කරන් නෑ . ඩෙංගු කෝවිඩ් වගෙ වසංගත වලටත් අපට ප්‍රතිශක්තිය දෙන්නෙ මේ පරිසරයයි”. ඇය නොකඩවා කියාගෙන යන්නේ වර්තමාන සමාජයට පණිවිඩයක් එක් කර දෙමිනි.
සිය පරපුරේ උරුමයෙන් ලද මේ වන පියසේ වසර පනහකට අධික කළක් දිවිගෙවන ඇය ඔවුන්ගේ ගමනේ පාළුව තනිකම පිළිබදව ඇය දැක්වුවේ මෙවැනි අදහසකි.
“අපි ජීවත් වන්නේ පන තියන අපට හුස්ම දෙන ගස් හමුදාවක් මැද. මේ හමුදාව අපිව ආරක්ෂා කරනවා. මේ විෂගෝර සර්පයින් දන්නව අපෙන් ඔවුන්ට හානියක් නොවන බව. ඒ නිසා මේ ස්භාව දහම අපිව ආරක්ෂා කරනවා. මගේ දරුවගෙ තාත්තා මොහොමඩ් එයත් වනයට ආදරෙයි. රැකියා කටයුතු නිසා එයා වෙන පළාතක හිටියත් එයත් වසර කීපයකට පෙර පොල්ගහවෙල ඉදල අලව්ව දක්වා මග දෙපස කුඹුක් පැල විශාල සංඛයාවක් මග දෙපස රෝපනය කළා”. තම පවුලම පරිසරය වෙනුවෙන් කැප කරන අයුරු අපට සදහන් කලේ ඉතාම නිහතමානීවය.
කුමන අගහිගතාවයක් මතුවුවද ඇයගෙන් කිසිවිටකවත් මේ වනස්පතියේ කිසිදු දෙයකට බලපෑම් කර නොමැත. වටිනා ගහකොළක් ස්භාවික විපතකදි බිමට පතිත වුවද ඒ සියල්ල පරිසරයට ජීර්ණය වීමට ඉඩ තැබුවා මිසක මුදල් කරගෙන නොමැත. සිය පරිසර පද්දතිය කෝටි විසි පහකට එපිට මුදල් වලට පවා ආයෝජකයෝ ඉල්ලද්දි ඇය නිහඩ වුයේ ස්භාව දහම් මාතාවට ඇයගේ අසීමිත ආදරය නිසාවෙනි. සිය මායිමි අවට වන විනාසයන් වන විටදි ඇය නීතිමය ක්‍රමවේදයන් තුළින් එය රැක ගැනීමට දෙපා සතුන් හා ගැටුන අවස්තා මිසක ඇයටවත් දියනියටත් සිව්පා උවදුරු කිසිවක් නොවීය. ඇයගේ වන රජදහන මැදින් ගලනා කැකුණ දොළ මේ අම්මාටත් දියනියටත් මහගු සම්පතකි.
“ මහා වනයක් මැද ජීවත්වන අපේ ජීවිතයේ ලොකු පන්නරයක් ලබා දුන්න මගේ ආදරනීය තාත්තගේ අදහස හැමෝටම වැදගත් වෙයි”. ඇය නැවතත් අතීතයට ගියේ වටිනා පණිවිඩයක් දෙන්නටය.
“චූටි පුතේ ඔයාගේ වත්කම දැනගන්න ඕනිනම් ඔයාට විකුනන්න පුළුවන් දේවල් දැනගන්න. හැබැයි ඔයාගෙ වටිනාකම තීන්දු වෙන්නෙ මුදල් කරගන්න බැරි ගුණ ධර්ම වලින්”. “මගේ තාත්තා මට කියල දුන්නේ එහෙමයි”.
“මගේ දෙමව්පියන් මට ඉතිරිකරල ගිය මේ වනබිම අද මට කෝටි ගණන් ලංසු ලැබෙද්දිත් කිසිදු මුදලකට ගිජු නොවි සෘජුව නැගි සිටීමේ අභිමානය මට දුන්නෙ මේ වන බිමයි” ඇය සැබවින්ම කොන්දක් ඇති සමාජයට , ගහකොළ , සතා සීපාවා වෙනුවෙන් ජීවත් වෙමින් , සබැ ලෙසම ජීවත් විය යුත්තේ කෙසේද යන්න පිලිබදව සමාජයට පණිවිඩයක් ලබා දෙන්නීය.
ජාතියේ ජීවනාලියට හුස්ම සපයන මේ ආදරනීය අම්මට සහ දුවට සුබ පතා අප ඔවුන්ගෙන් වෙන් වුයේ, වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන් තණ්හාවෙන් උමතුව තම ගමන් මග පමණක් නොව සමස්ත සමාජයම විනාශ කරමින් සිදු කරන අපරාධයන් හමුවේ මේ සුරූපී මව් සහ දියනිය නිසා දහස් ගණනක් මිනිසුන් ජීවත් වන සිහි කරමිනි.
මෙවන් මිනිසුන් දහස් ගණනින් මේ මහා පොලව මත උපදීවා…….