මරුවා සමග ජීවත් වන පාසල් දරුවන්. ( වීඩියෝ සහිතයි)
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ හුන්නස්ගිරිය, රඹුක්පොත ප්‍රාථමික විද්‍යාලය ආරම්භ වී ඇත්තේ 1939 වර්ෂයේදීය. ඉන් පසුව අපොස සාපෙළ දක්වා පන්ති තිබී ඇති අතර දරුවන් 600 කටත් වඩා මේ පාසැල තුල ඉගෙන ගෙන ඇත. මේ වන විට මෙම පාසලේ දරුවන් 30 දෙනෙකු පමණ ඉගෙන ගන්නා අතර ගුරුවරුන් 5 දෙනෙකු පමණ සිටිති. ඒ ගුරුවරුන් පස් දෙනා අතර අභ්‍යාසලාභීන්ද සිටින බව කියවේ.
මෙම පාසලේ දරුවන් රැදී සිටින එකම ගොඩනැගිල්ලද වැසි ජලය ගලා යන වාරි මාර්ගයක් වී ඇති අතර ගොඩනැගිල්ල වේයන්ගෙන් ගහන අතර තැන තැන හුඹස්ද බැද තිබේ. මෙම ගොඩනැගිල්ල සාදා ඇත්තේ මැටි සහ ගල් වලින් වන අතර එයද කඩා වැටීමට ආසන්නව තිබේ. වහල කිහිප වරක්ම අලුත්වැඩියා කර තිබුනද උළු බිදී ගොස් තිබේ. වැසි වෙලාවට දරුවන් තම මේස සහ පුටු රැගෙන නොතෙමන ස්ථාන වලට යති.
ග්‍රාම සේවා වසම් හතරක පමණ දරුවන් මේ පාසැල වෙත අධ්‍යාපනය ලැබීමට පැමිණෙන අතර මේ පාසැල වෙත යාම සදහා මාර්ගයක්ද නැත. ඇත්තේ කුඩා අඩි පාරකි. එම කුඩා අඩි පාරද පන්සල් වත්ත මැදින් පිහිටා තිබේ.
2005 මුල් කාලයේ මෙම පාසැල වැසී ගොස් ඇත. නමුත් ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් නැවතත් එම වර්ෂයේම මෙම පාසැල ආරම්භ කර ඇත.
බොහෝ ශ්‍රී ලාංකික වැඩිහිටියන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවා නගරයේ හොදම පාසලකට ඇතුලත් කර ගැනීමටය. එහෙත් නගරයේ පාසල් වෙත යන දු දරුවන්ගෙන් ද විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වරම් නොලබන අතර බොහෝ දෙනෙකුම සාමාන්‍ය රැකියාවල යෙදෙති. ඒ අතර කිසිඳු පහසුකමක් නැති අන්ත අසරණ දු දරුවන් සිටින පාසල්ද ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් දක්නට තිබේ. අධ්‍යාපන සහ අනෙක් පාලකයන් තම දරුවන් උසස් පාසල් වෙත යොමු කර අධ්‍යාපනය ලබා දුන්නත්, රටේ අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් අවධානය යොමු කරනුයේ ඉතාම අඩුවෙන් බව තහවුරු කරන්නට ඕනෑ තරම් සාක්ෂි අප සතුව තිබේ.