- අපයෝජන කල මේජර්ට සාමාන්‍ය චෝදනා.
- හිංසනයට ලක් වූ සෙබලියන්ටත් සාමාන්‍ය චෝදනා පත්‍ර.
- චුදිත මේජර්වරයා හමුදා වාහනයෙන් තෙල් ඇදලා, තම වාහනයට දාල.
- මුලික පරීක්ෂණ උසාවියට කනිෂ්ඨ නිලධාරීන් සහ හිතවතුන් පත්කරලා.
- ජනාධිපතිවරයා අපකීර්තියට පත්කිරීමට යුධ හමුදා බලධාරියෙකුගේ කුමන්ත්‍රණයක්.
උත්තරීතර යුද හමුදාව දිවිහිමියෙන් රැකගත් කීර්ති නාමය එක රැයින් විනාශ කර දැමීමට සමතුන් අල්පයක් හමුදාව තුළ නැත්තේම නොවේ. වගකිවයුතු මාධ්‍ය ආයතන ලෙස ඔවුන්ගේ දූෂණ අනාවරණය කිරිමට සදාචාරාත්මක අයිතියක්, සමාජ වගකීමක් අපිට වෘත්තියෙන්ම පැවරී ඇති නමුත් හමුදා කීර්තිනාමයට සිදුවන හානිය සලකා බලා ප්‍රබල සාක්ෂි නොමැතිව අපට හිතෙන අයුරින් යමක් ලිවීමට කිසිම දිනයක අප උත්සුක නොවන්නෙමු. කෙසේ නමුත් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසියේ නම්බුව විනාශ කරන අයට එරෙහිව අපගේ අකුරු ලියන්නට අප දෙවරක් නොසිතන්නෙමු.
එවන් පසුබිමක සමස්ත යුද හමුදාවම අපකීර්තියට පත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායේ විධායක අධිකාරිය ලෙස සේවය කළ මේජර් තුෂාර අධිකාරි එම බළකායේම හමුදා සෙබලියන් දෙදෙනෙකු වන කාන්තා සැරයන් මේජර් වීරකෝන් සහ සාමාන්‍ය සෙබළියක් වන ජයසූරිය නැමැත්තියන් අවස්ථා දෙකකදී ඔහුගේ කාර්යාලය තුලදී සහ පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන්ගේ කාමරය තුළ ලිංගික හිරිහැරයන්ට ලක් කිරීම පිළිබඳව ඇඟ කිලිපොලා යන අනාවරණයන් අප මාධ්‍ය ආයතනය තුළින්ද හඬ පට සාක්ෂි සහිතව අනාවරණය කළෝය.
එම අනාවරණයන් සබැඳිව යුද හමුදාපති විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳ අප ස්තුතිවන්ත වෙන නමුත් යුද හමුදා විනය ආරක්ෂාධිපති මෙන්ම යුද හමුදා පොලිසියේ බලකාදිපති පෞද්ගලික ඇඳුනුම් කම් මත එම විමර්ශනය නිසි ලෙස විමර්ශනය නොකරමින් කැකිල්ලේ නඩු තීන්දුවක් ලබාදෙමින් මෙම ස්ත්‍රී දූෂකයා නිදොස් වෙමින් දූෂණයට ලක්වූ සෙබලියන්
වැරදිකරුවන් බවට පත්වන ආකාරයට විමර්ශන රපෝර්තුව ලබාදීම හාස්‍යජනක මෙන්ම භයානක තත්ත්වයකි.
විනය ආරක්ෂාධිපති මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ මෙම කැකිල්ලේ තීන්දුව ලබාදී යුධ හමුදා විනය උඩුයටිකුරු කරමින් හමුදා සාමාජිකයන් කලකිරීමට සහ අසරණභාවයට ලක් කිරීම ලක්ෂ හතළිහක් පමණ වන ඡන්ද පදනමක් හිමි සමස්ත හමුදා පවුල් සේනාධි නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එළැඹෙන ඡන්ද ව්‍යාපාරයෙහි ක්‍රියාකරවීමේ කුමන්ත්‍රණයක්ද ? විනය ආරක්ෂාධිපති මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා එහි බළල් අතක් ද ? නොඑසේ නම් කුමන්ත්‍රණ කරුවෙක්ද ? යන්න පිළිබඳව බලවත් සැකයක් අප තුළ පවතී.
මෙම විමර්ශන රපෝර්තුවේ සෙබළියන් ලිංගික අපචාරයට ලක් කළ මේජර් තුෂාර අධිකාරි හට චෝදනා පත්‍ර නැගිය යුතුව තිබූනේ යුධ හමුදා පනතෙහි අංක 107 යටතේ යුද හමුදා නිලධාරියකුගේ අපවාදාත්මක හැසිරීම යටතේය. නමුත් සාමාන්‍ය විනය කඩකිරීමක් යටතේ හමුදා සාමාජිකයෙකුට ලබා දෙන චෝදනා පත්‍රය වන යුධ හමුදා පනතෙහි අංක 129 සංග්‍රාමික විනයට පටහැනි වීම යටතේ චෝදනා පත්‍රය ගොනුකර තිබීම කණගාටුවට කරුණකි.
මෙහි සංවේදී සහ භයානකම කාරණය වනුයේ ලිංගික හිංසනයට ලක්වූ සෙබලියන් එම සිදුවීම සබැඳිව වගකිව යුත්තන් එසැනින් දැනුවත් නොකිරීම සබැඳිව ඔහුන්ටද දූෂිතයාට ලබාදුන් චෝදනා පත්‍රය වන සංග්‍රාමික විනයට පටහැනි වීම යුධ හමුදා පනතෙහි අංක 129 න් චෝදනා පත්‍ර හිමි ගැන්වීමය.
මේජර්වරයා යු හ 12307 යතුරුපැදියෙන් තෙල්බාලා
යුද හමුදාව අපකීර්තියට පත් කරමින් දිගින් දිගටම වැරදි කරන්නන් හට නිසි දඬුවම් ලබා නොදීම තුළින් ඔවුහු නැවත නැවතත් හිරිකිතයකින් තොරව සිදු කරන දූෂණ වංචා අපට දිගින් දිගටම අනාවරණය කිරීමට සිදුවන අතර එතුලින් සමස්ත යුද හමුදාවට යම්කිසි අපකීර්තියක් සිදු වන්නේ නම් එහි වගකීමද බාරගත යුත්තේ දුෂිතයන් හට නිසි දඬුවම් ලබා නොදෙන මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා වැනි පුද්ගලයන්ය.
ඒ අනුව සෙබළියන් දූෂණයට ලක් කිරීම පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයේහිදී විමර්ශනය නිසිආකාරව සිදුකරමින් මෙම මේජර්වරයා හට හමුදා පනතෙහි අංක 107 යටතේ චෝදනා පත්‍ර නැගුවේ නම් ඔහු යුධ අධිකරණයකට පමුණුවා චෝදනා විභාග කර ඔහු යුද හමුදාවෙන් නෙරපා දමා මෙවැනි අයගෙන් යුධ හමුදාවට සිදුවීමට තිබු හානියන් වළක්වා ගැනීමට තිබුණි.
කාන්තා අපයෝජන පිලිබදව නිසි ලෙස විමර්ශනයන් නොකර හැඳුනුම්කම් මෙම මේජර්වරයා මුදාහැරීමෙන් පසු යුද හමුදා පොදු සේවා බලකාය, කුට්ටිගල පිහිටි වෘත්තීය පාසලේදී යුද හමුදාවට අයත් යු හ 12307 අපාචි150 වර්ගයෙහි යතුරුපැදියකින් යුද හමුදාවට අයත් ඉන්ධන විටින් විට ඉවතට ගෙන ඔහුගේ පෞද්ගලික කාර් රථය වන CAD 5560 කාර් රථයට එම ඉන්ධන පුරවා පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගැනීම සබැඳිව කුට්ටිගල හමුදා වෘත්තිය පාසලෙහි සේනාවිධායක කර්නල් තිලක් දිසානායක විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
මෙසේ පත් කරනු ලැබූ මූලික පරීක්ෂණ මණ්ඩලයෙහි ජේෂ්ඨතම නිලධාරියා වන එහි සභාපති යුදහමුදා යතුරුපැදියෙන් තෙල් බා හසුවූ මේජර් තුෂාර අධිකාරියට වඩා බොහෝ සෙයින් කණිෂ්ඨ නිලධාරියෙකු බවද අපට වාර්තා වේ.
තවද එම කුට්ටිගල හමුදා පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරනු ලබන මෙම දූෂිත මේජර් වරයා පිළිබඳව යුධ හමුදා යතුරුපැදියෙන් අනීතිකව තෙල් බෑම සබැඳිව සිදු කරනු ලබන ඉහත පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇත්තේ ඔහුගේම විධායක අධිකාරි වරයාය.
එකී සාධනීය හේතූන් මත පදනම්ව අප හට නිගමනය කළ හැක්කේ මෙම පරීක්ෂණ මණ්ඩලයද ලබාදෙන තීන්දුව කැකිල්ලේ නඩු තීන්දුවට නොදෙවෙනි බවය.
කෙසේ නමුත් මේ ආකාරයෙන් යුධ හමුදාවේ කටයුතුද දුෂිතයන් විසින්, සිදුකරමින් රජය එපා කරවීම තවත් කුමන්ත්රණයක ආරම්භයක් විය හැකිය. අපට වාර්තාවන ආකාරයට සහ අප මීට පෙර වාර්තාකළ බොහෝ පුවත් වල සිටින දුෂිතයන් දේශාපලන නායකයන්ගේ ගැත්තන් වේ. එබැවින්, දිගින් දිගටම චෝදනා එල්ලවන යුධ හමුදා නිලධාරීන් සහ විවිධ කුඩා වැරදි පවා සිදුකරනා යුධ හමුදා නිලධාරීන්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නිසි ලෙස ගත යුතුමය. එසේ නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස ඔවුන් විවිධ වැරදි කිරීමට පෙළබේ. නමුත් දඩුවම් ලබා දීම තුලින් පමණක් ඔවුන්ගේද ආරක්ෂාව තහවුරු වෙමින් වැරදි නොකර සිටීමට උත්සාහ දරයි .
සජීවී වැඩසටහන් නැරබීම සදහා අපගේ මුහුනුපොතට එකතුවෙන්න – https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL