ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ ශ්රී ලංකාවට නිරිත දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්රදේශයේ වූ අනතුරක් හේතුවෙන් බහුදින යාත්රාවක සිටි ධීවරයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ගොඩබිමට රැගෙන විත් ඔහුව ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
“ සචින්ත පුතා “ නැමැති බහුදින ධීවර යාත්රාව පසුගිය ජුනි 22 වන දින ධීවරයින් පස් දෙනෙකු සමඟ මීගමුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර එම යාත්රාව ගාල්ලේ සිට ශ්රී ලංකාවට නිරිත දෙසට වන්නට පිහිටා ඇති ගැඹුරු මුහුදු ප්රදේශයේ දී විදේශීය යාත්රාවක ගැටී තිබේ. එම අවස්ථාවේ දී විදේශීය යාත්රාව විසින් එල්ල කළ ප්රහාරයක් හේතුවෙන් මෙම බහුදින යාත්රාවේ සිටි එක් ධීවරයෙක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ.
අනතුරුව එහිදී ක්රියාත්මක වූ නාවික හමුදාව “ ස්පාර් මිරා “ නම් වෙළඳ නෞකාව මඟින් අදාළ පිළිස්සුම් තුවාල සහිත ධීවරයා ප්රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ආ බව සඳහන් වේ.