නුවන් සිරිවර්ධන මහතා විසින් මෑතක දී අන්තර්ජාලය ඔස්සේ දක්නට ලැබුණු පින්තූරයක් පදනම් කර ගනිමින් , රට ගොඩ නගන්නට අවශ්‍ය නම්, තමන්ට හැදෙන්නට අවශ්‍ය නම් වටිනා අදහසක් ඉදිරිපත් කර තිබෙනවා .
මෙහි පලකර ඇති පින්තූරය දුටු සැනින් ඕනෑම අයෙකුට දැනෙන්නේ “මේ මනුස්සයට පිස්සු, මොනවා උනත් බොන්ඩ තියනවනම් ඒ ඇති” කියලනෙ .ඒකත් හරියට “නැව ගිලුණත් බෑන්ඩ් චූන්” වගේ කතාවක් තමයි.
ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් මෙවන් තත්ත්වයක් උදාවීමට වරද කාගෙද කියලත් සිතා බැලිය යුතුයි. අපේ ශ්‍රී ලාංකිකයන් ගොඩක් අසරණයි වගේම ඒ අසරණකම විකුණන් කෑමට උත්සහ දරන නොමිනිසුම් කොඨිඨාශයක්ද ද අප අතර සිටින බව ඔහු සදහන් කරයි .
“එකළ සුද්දා මේ රටේ සෑම හන්දියක් හන්දියක් පාසාම තැබෑරුම් අරිනකොට ඊට විරෝධය දැක්වූ දේශප්‍රේමී සිංහලයන් ඕනෑ තරම් අපේ රට තුළ සිටියා.අනගාරික ධර්මපාලතුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ආදී දේශප්‍රේමී නායකයින් ඊට විරෝධය පාමින් නැගි සිටියා”.
එවන් එඩිතර ජාතියක් සිටි අපේ රටේ අද ශේෂව සිටින්නේ පරගැතිකම් කරන, පරගැතියන්ට ණයගැති මෙන් ම එම පරජාතික සමාගම්වලට යටත්ව කටයුතු කරමින් තම රට ජාතිය විනාශ කරන නොමිනුසුන් පිරිසකි. ඔවුන් රට ජාතිය ගැන තබා මේ අහිංසක මිනිසුන්ගේ ජිවිත ඔට්ටුකරමින් තම තෘප්තිය උදෙසා පමණක් කටයුතු කරන නොමිනිසුන් පිරිසක්මය. සිය අවශ්‍යතාවය උදෙසා මේ පරගැති කළු සුද්දන් අල්ලස් ලබා දීම, ජාතික ජනබලවේග අඩපන කිරීමට මෙන් ම ඔවුන්ගේ ක්‍රියාවන්ට එරෙහි වන ඕනෑම අයෙක් ඝාතනය කිරීමට හෝ දෙවරක් නොසිතයි.
දේශපාලන බලය සහ විශාල ධනස්කන්ධයක් සදහා හිමිකම් කියන මේ කළු සුද්දන් මත යැපෙන තවත් සිවිල් ජන කාණ්ඩයක් ද සිටින අතර මොවුන් සියල්ල රට ජාතිය උගසට තබමින් සිය අභිප්රායන් කරා කෙසේ හෝ ගමන් කිරීමයි ඔවුන්ගේ එකම අරමුණ.
මේ සියල්ල සලකා බැලීමේ දී අපට ඒ වෙනුවෙන් කළ හැක්කක් නොමැති යැයි සිතී යනු ඇත. නමුත් කෙසේ හෝ අප රටට ජාතියට ආගමට සිදුවන මෙම විපත වළක්වාළීම ඔබේත් අපේත් සියල්ලන්ගේම යුතුකමක් සේම වගකීමක් වන බැවින් අතීතයේ සිටි අපේ වීරවරුන්ගේ ලේ ශරීර පුරා දුවන සැබෑ දේශප්‍රේමින් තවමත් මෙරට තුළ ශේෂව ඇත.
ඔවුන් අවදි කරමින් ස්වයං ශික්ෂනයක් සහිත සමාජයක් ගොඩ නගාගනිමින් බෞද්ධ දර්ශනය මෙන් ම සියලුම ආගම් ජාතීන් පෙරටු කරගනිමින් දේශය සුරැකීම සදහා නැගී සිටිය යුතුමය. දේශපාලන බලයන්ට නතු නොවී අපි අපිම වී අපේ රට අනාගත පරපුරක් වෙනුවෙන් රැක ගැනීමට එක්වෙමු. ලෙස ඔහු සදහන් කර තිබේ.