රටට විදේශ විනිමය උපයන්න ගිය අපේ මිනිසුන්ගේ විලාපයක් මෑත කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුණේ චමුදිත සමරවික්‍රම මහතා විසින් පවත්වන ලද සාකච්ඡාවක් තුළිනි.
එහි දී මැද පෙරදිග රටවල සේවයේ නිරතව සිටින කමල්, ශාන් සහ චමින්ද නමැති මහත්වරුන් තිදෙනෙක් විසින් සිය හඬ අවදි කරනු ලබන්නේ මෑතක දී මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීමක් පිළිබඳව සඳහන් කිරීමට සහ එහි සාධාරණ අසාධාරණ භාවය පෙන්වා දීමටයි.
මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දිනක සඳහන් කළේ විදේශගතව රැකියාවල නිරතව සිටින අපේ රටේ ප්‍රජාවගේ වැටුප් මෙරටට බැංකු ඔස්සේ නීත්‍යානුකූල ලෙස එවිය යුතු බවයි.
එලෙස නීත්‍යානුකූලව බැංකු ඔස්සේ මෙරටට මුදල් ලබාදෙන විට විශාල වශයෙන් අවම අගයක් එම මුදල් වෙත මෙරට තුළින් ලබාදෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඔවුන් හඳුන්වන උන්ඩියල් ක්‍රමයට සාමාන්‍යයෙන් මෙරටට මුදල් එවීමේ දී රුපියල් සඳහා විශාල වටිනාකමක් හිමිවන අතර බැංකු ඔස්සේ මුදල් එවීමේ දී එම වටිනාකම රුපියල් 40 – 45කින් පමණ අඩු වන බවයි ඔවුන් පවසන්නේ.
මේ වන තෙක් විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ සොයාබැලීමක් සිදු නොකළ කිසිදු සැලකිල්ලක් නොකළ ඔවුන් එම රටවල් වල විඳින දුක් ගැහැට පිළිබඳව හෝ කිසිදු තැකීමක් නොකර මෙවැනි ඉල්ලීමක් ඉල්ලන්නේ කෙසේද යන්න ඔවුන් ප්‍රශ්න කරති.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම මැදපෙරදිග රටවල සේවය කරන විදේශ ශ්‍රමිකයින්ගේ මහන්සියට සරලන ලෙස යම් වටිනාකමක් ලබා දෙනවා නම් හෝ ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙනවා නම් රට වෙනුවෙන් තවදුරටත් විදේශ විනිමය උපයා දීමට ඔවුන් සූදානම් බවයි.
ඔවුන් වෙනුවෙන් කිසිදු සාධාරණයක් ඉටු නොකර මෙලෙස මුදල් ලබාදෙන ලෙස පමණක් කරන ඉල්ලීම ඇත්තටම සාධාරණද? යන්න ඔවුන් ප්‍රශ්න කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත සමයේ දී පවා රජය කළේ මෙම විදෙස් ශ්‍රමිකයින් සූරා කෑම බවයි.
උදාහරණ ලෙස කොවිඩ් වසංගත සමයේ දී මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයින්ට නිරෝධායනය වීම සුපිරි හෝටල්වල පමණක් සිදු කිරීමට අනිවාර්යය කරන ලදී.එතුළින් මේ අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල ගසා කමින් හෝටල් කර්මාන්තකරුවන් පොහොසත් කරන ලද බවද ඔවුන් කියා සිටිති.
තව ද ,පුද්ගලයෙක් විදේශ ගතවන විට ඉන්ෂුවරන්ස් සඳහා ද මුදලක් ගෙවිය යුතුව ඇති නමුත් එම පුද්ගලයා විදේශයක දී මියගිය හොත් ඔහුගේ දේහය රැගෙන ඒමට ද නැවතත් මුදල් ලබා දිය යුතු වාතාවරණයකට ද මෙම විදෙස් ශ්‍රමිකයින් මුහුණ පා ඇත.
ඔවුන්ගේ පවුලේ දරුවන්, දෙමාපියන් දමා ගොස් එම රටවල නොවිඳිනා දුක් විඳ මුදල් සොයන, ඇතැමුන්ගේ පවුලේ දෙමාපියන් මියගොස් ,ඇතැමුන් එම රටවල සාදාකාලිකව එක්තැන් වී රෝහල්ගතව සිටින බවත් ඔවුන්ව නැවත මවුරටට ගෙන්වා ගැනීමට හෝ මෙම රජයන් කිසිවිටෙකත් උත්සහයක් හෝ දරා නොමැති බවත් ඔවුන් මෙහිදී අවධාරණය කර ඇත.
ඔවුන්ගේ මුදල්වලට පමණක් කෙළ නොසලා ඔවුන්ගේ දුක් මහන්සියෙන් සැප විඳින දේශපාලුවන් පමණක් නොවී ඔවුන් වෙනුවෙන් යමක් සිදු කිරීමට උත්සහ දරන්නේ නම් මේ කිසිදු ගැටලුවක් හටනොගනු ඇත.