වර්තමානයේ භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් සසුනට සිදුවන හානිය සම්බන්ධයෙන් තරුණ හිමිනමක් මහනායක ස්වාම්න් වහන්සේලා වෙත විවෘත ලිපියක් යවා තිබේ.
පැල්මඩුල්ල ඓතිහාසික සුදර්ශන ධර්මශාලා පුරාණ විහාරයේ භාරකාර අධ්‍යාපනවේදි ගලගම කුසලධම්ම හිමියන් විසින් මෙම ලිපිය සියලුම මහනාහිමිවරුන්ට හා රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි ඇතුළු සමාජයේ වගකිවයුතු හිමිවරුන් කීපනමකටම යවා තිබේ..
එමගින් උන් වහන්සේ අවධාරණය කරන්නේ නෙගටිව් මාර්කටින් සංකල්පය තුළින් සමහර හිමිවරුන් බුදුසසුන වනසන බවයි.
උන් වහන්සේ යැවු සම්පුර්ණ ලිපිය මෙසේය.
පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර රහතන් වහන්සේ ලෙස හඳුන්වන ස්වාමීන් වහන්සේ සහ තිත්තගල්ලේ ආනන්දසිරි නමින් හඳුන්වන ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වර්තමානයේ තරුණ ප්‍රජාව උදෙසා යම් සමාජීය සේවාවක් මෙන්ම මඟපෙන්වීමක් සිදු කරන බව සැබෑවකි. පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය හරහා තරුණ ප්‍රජාවට ලබා දෙන ආදර්ශය වන නිවසේ වගා කිරීම, ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම, රසායනික ගොවිතැන වෙනුවට කාබනික ගොවිතැනට හුරු කිරීම, කම්මැලි නොමැතිව වැඩ කිරීම, මෙන්ම තරුණ ප්‍රජාවට ගෝචර වන ආකාරයෙන් දහම සරලව කියාදීමත්, තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ කරනු ලබන නාලන්දා නමින් ආයතනයක් ආරම්භ කොට දුප්පත් දරුවන්ට පවා එහිදී සාහිත්‍ය සංගීතය වැනි විෂයයන් හරහා යම් කිසි දැනුමක් ලබාදීමත් ඒ හරහා දරුවන් තුළ සංවේදී හැඟීම් ඇති කිරීමත් කාලීන අවශ්‍යතාවයක් ලෙස දකිමි.
එහෙත් මා මේ ලිපියෙහි සඳහන් කරනු ලබන්නේ උන්වහන්සේලා සිදු කරනු ලබන එකී සාමාජීය මෙහෙවර නොව එයින් ශාසනයට සිදු කරනු ලබන හානිදායක තත්වයන් හා ඉන් අනාගතයේ නිසැකව සිදුවන ප්‍රතිවිපාකයන් පිළිබඳවයි.
ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන පැමිණි මහින්ද මහරහතන් වහන්සේගේ මග පෙන්වීම වූයේ ලංකාව තුළ බෞද්ධ ප්‍රජාවට අනන්‍ය වූ සංස්කෘතියක් ඇති කිරීමයි. එම අනන්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම හරහා සිදුවූයේ පර්යාප්තිය ආරක්ෂා වීමත් බෞද්ධ දර්ශනය ඒ තුළ ආරක්ෂා වීමත් ය. එහෙත් ඒ හරහා දාර්ශනික බුදු දහමේ අධ්‍යනයන් කිසියම් දුරකට සීමා වූ බව දකින්නට ලැබීම ඔබවහන්සේ සහ අපි සැවොම දන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් බෝධි පූජා, බුද්ධ පූජා, ධාතු පූජා, පෙරහැර පැවැත්වීම, කොටින්ම කියතොත් ආමිස පූජාවන්ට මුල්තැන ලැබීම නිසා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන නැතිවිය.
මෙම තත්ත්වය නිසා ලංකාවේ බුද්ධ ශාසනය වෙනස්ම මුහුණුවරක් ගැණිනි. එහි ඇති වූ වාසි සහ අවාසි පිළිබඳව කතිකා කළ හැකිය. ඉන් වඩාත්ම වැදගත් ප්‍රබලම කරුණ වන්නේ බුද්ධාගමක් හා ඒ වටා සාංස්කෘතික හර පද්දතියක් ගොඩනැගීමයි. ඒ අනුව ලෝකයේ අනෙකුත් බෞද්ධ රටවල් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, වැනි බෞද්ධ රටවල් තුල වර්තමානය වන විට බුදුදහම දකින්නට නොලැබෙන්නේ මෙකී සංස්කෘතියක් ආගමක් නිර්මාණය නොවූ නිසාය. දර්ශනයෙන් පමණක් බෞද්ධ සමාජය පිබිදුනා නම් අත්හැරීම ප්‍රගුණ කළා නම්, පරාර්ථය වෙනුවට ආත්මාර්ථය ගවේෂණය කළා නම්, එදා වළගම්බා රජු සමයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන්නේ නැත, දුටුගැමුණු රජතුමාට ලංකාව එක්සේසත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දිරිගැන්වීමට වඩින්නේ නැත, වර්තමානයේ උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය ලෙස වෙන්කර ගැනීමට නොහැකිව ඒ සඳහා විශාල බාධාවක් ලෙස පවතින බෞද්ධ නටබුන් එනම් එදා වෙහෙර විහාරස්ථාන උතුරු නැගෙනහිර ඉදිකිරීම සිදු වන්නේ නැත.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල, වාරියපොල සුමංගල වැනි භික්ෂූන් සිංහල ජාතිය, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා දිවි පරදුවට තබමින් කටයුතු කිරීම ද සිදු වන්නේ නැත. මක් නිසාද යත් එය බුද්ධ දේශනාවේ මූලික හරයට ප්‍රතිවිරුද්ධ යැයි හැඟෙන බැවිනි. අදටත් පක්ෂ හෝ විපක්ෂ වශයෙන් භික්ෂූන් වහන්සේලා සිටීම නිසා බුදු සසුනට සිදුවීමට නියමිත හානිය තරමක් දුරට හෝ සීමා වීම දැකිය හැකිය. තුන්මාසෙ, හත්දවසේ, අවුරුද්දේ දානය පිරිනැමීම්, පාංශුකූල පිරිනැමීම්, සහ පුද පූජා ක්‍රම, පෙරහර සංස්කෘතිය සිදුවීම පවා සිංහල ජනතාවගේ එකමුතු බව ඒකීයත්වය සහ තම ජාතිය තම ආගම වෙනුවෙන් දිවි පරදුවට තබා සිට ගැනීම දක්වා ගොඩනැගීමක් සිදුවිය. එම හේතුව පිළිබඳව අධ්‍යයනයේ දී හොඳින්ම පැහැදිලි වන්නේ ලංකාව තුළ බුදු දහම සහ බෞද්ධ දර්ශනය රැකුණේ එකී ආගම සංස්කෘතිය තුළ බවයි.
එහෙත් වර්තමානය වන විට ඉහත සඳහන් කළ ස්වාමින් වහන්සේලා ඇතුළු ඇතැම් ස්වාමීන් වහන්සේලා සිදු කරනු ලබන දේශනා ක්‍රියාකාරකම් නිසා එකී ආගමික දර්ශනයට නිර්දය ලෙස පහර ගසමින් පවතී. එහි භයානක තත්ත්වය වන්නේ වර්තමානයට ගැළපෙන ආකාරයට ත්‍රිපිටකයේ පවතින ඇතැම් පෘථග්ජන පුද්ගලයාට ගෝචර නොවෙන කාරණා මෙන්ම අද්භූත ධර්ම සහ ෂට් අසාධාරණ ඤාණ ඥාන, ප්‍රාතිහාර්ය ක්‍රම, පඤ්ච අභිඤ්ඤා වැනි දේ වර්තමාන විද්‍යාව උදාහරණයට ගනිමින් වත්මන් සමාජයට ගලපමින් ඒවා විහිලුවට ලක් කිරීමයි.
තාක්ෂණයේ දියුණුවත් සමඟ එකී විවේචන සහ ඇතැම් අදූරදර්ෂී ප්‍රකාශයන් සමාජගත වීම ඉතාමත් වේගයෙන් සිදුවන බව හොඳින් පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබීමෙන් පසු උදාන වාක්‍ය ප්‍රකාශ කිරීමත්, පියුම්පිට වැඩීමත් වර්තමාන සමාජයේ දරුවන් බිහිවීම පිළිබඳව සමඟ සංසන්දනය කරමින් විහිළුවට ගෙන තිබීම දැක්විය හැකිය. කොටින්ම කිවතොත් මෙම භික්ෂූන් භෞතිකත්වය සහ භෞතිකවාදී ප්‍රවේශයන් ඔස්සේ බුදු දහම හදාරමින් පවතී. තවත් ලෙසකින් කිවතොත් මක්ඛලී ගෝසාල දර්ශනයක් බිහිවෙමින් පවතී. එය බිහිවන්නේ එම භික්ෂූන් වහන්සේලා සිදුකරන සමස්ථ දේශනා නිසා නොව අන් අය කෙසේ එය වටහා ගනීද යන්න නොසිතා පවසන ඇතැම් උදාහරණ හා පටු ප්‍රකාශන නිසාය.
ඔවුන්ගේ දර්ශනය සමාජගත කිරීම තුළ කිසිදු හානියක් බෞද්ධ දර්ශනයට නොවන බව ප්‍රකාශ කලත් ඇතැම් පිරිස් මෙම විවේචනයන් පමණක් ගැනීම නිසා බුදු දහම සම්බන්ධ සැක කිරීම් බොහෝ අවස්ථාවන් වල දැකිය. උදාහරණ වශයෙන් සමාජය සංකීර්ණ වීම නිසා බොහෝ දෙනකු පොත් කියවීම හෝ ධර්මයේ අධ්‍යයනය කිරීම සිදු නොකරන බැවින් සමාජ මාධ්‍ය තුළ ඔවුන් දකින්නේ අර වැනි විවේචන කොටස් පමණි. එම කොටස් පමණක් දකින පුද්ගලයින් ත්‍රිපිටකය පිළිබඳව හෝ බුද්ධ දේශනාවන් සම්බන්ධව කිසිදු අධ්‍යයනයක් නොකරන අතර ඔවුන් බුදු දහම ලෙස දකින්නේ එකී සත් පියුම් පිට වැඩීම, ප්‍රාතිහාර්ය ක්‍රම අද්භූතජනක දේවල් පමණි.
මෙය සරලව ම කිවතොත් වර්තමාන තරුණ ප්‍රජාව තුළ ශ්‍රද්ධාවක් නොමැත. මෙකී ශ්‍රද්ධාව නොමැති වීමේ ඵල විපාක ඉදිරියේදී භයානක ලෙස භික්ෂූන් වහන්සේලාට මෙන්ම සමස්ත බුද්ධ ශාසනයට ම ලබන්නට සිදුවනු ඇත. භික්ෂූන් වහන්සේලාට වන්දනා කිරීම විහාරස්ථානවලට යෑම හෝ පින්කම්වලට සම්බන්ධ වීම වැනි දේවල් පවා ප්‍රතික්ෂේප කරන තරුණ සමාජයක් බිහිවෙමින් පවතී. ඔවුන් බුදු දහම අල්ලාගන්නේ ඔවුන්ට ගෝචර වන වපසරිය තුළ දකින්නට ලැබෙන දේවල් වලින් පමණි. එබැවින් ඔවුන් නැවත ඉපදීම වත් විශ්වාස නොකරන තත්ත්වයකට පත්වෙමින් පවතින බැව් මා සාක්ෂි සහිතව වුවත් පෙන්වන්නට කැමැත්තෙමි.
මෙයට සම්පූර්ණ වශයෙන් ම වගකිව යුත්තේ ඉහත සඳහන් කළ භෞතිකවාදය කර පින්නා ගනිමින් දේශනා සිදු කරන භික්ෂූන් වහන්සේලා ය. මා නම් දකින්නේ සමාජයට වඩාත් ම හානිදායක වන්නේ මිවනපලානේ වැනි ධර්මය විකෘති කරන පිරිසට වඩා සමාජ මාධ්‍ය තුළ බුදු දහම සම්බන්ධ පටු දෘෂ්ටි කෝණයක් සමාජගත කරන මෙම පිරිසය. මක්නිසාදයත් මිවනපලානේ වැනි භික්ෂූන් සමාජයට දේශනාවන් සිදුකළත් ඒවා සමාජගත වීම එතරම් දුරකට ගොස් නැත. එහෙත් පිටිදුවේ වැනි භික්ෂූන් වහන්සේලා වර්තමානයේ කිසියම් හෝ දෙයක් උදාහරණයට ගෙන ඒ සම්බන්ධව පරුෂ වචනයෙන් හෝ බැනවදිමින් සමාජ අවධානය ගනිමින් ක්‍රමක්‍රමයෙන් සූක්ෂම ඔවුන්ගේ මතය සමාජගත කරමින් පවතී.
එම භික්ෂුන් වහන්සේලාගේ ඇත්තේ බුද්ධාගම වෙනුවට බෞද්ධ දර්ශනය මිනිසුන්ට සමාජගත කිරීම නොව ඒ හරහා මිනිසුන්ගේ අවධානය ගනිමින් ව්‍යාපාර වශයෙන් උන්වහන්සේලාගේ උමන්දාව වැනි ව්‍යාපාරයක් බිහි කිරීම බව ඔබවහන්සේලාට පහත කරුණු මගින් හොඳින්ම වැටහෙනු ඇත.
සරල උදාහරණයක් වශයෙන් මුල් කාලයේ පිටිදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කළේ සංස්කෘතික කාරණා බුදු දහම නොවන බවත් නිවන අවබෝධ කර ගැනීම අත් හැරීම බුදු දහම වන බවත්ය. එම කාලයේදී චෛත්‍යය බිහි බිහිකිරීම, වෙහෙර විහාරස්ථාන ඉදි කිරීම, සුපෝපබෝගී පන්සල් ඉදි කිරීම, පුද පූජාවන් සිදු කිරීම, වැනි දේවල් පිළිබඳව විවේචන සිදු කරන ලදී. එහෙත් වර්තමානයේ වන විට එම ස්වාමින් වහන්සේම එකී ප්‍රතික්ෂේප කළ දේවල් වෙනුවට ආසියාවේ ලොකුම බුද්ධ ප්‍රතිමාව, කෝටි ගනනක විෂ්ණු දේවාල ඉදි කිරීමත්, වගා කිරීම භික්ෂුවගේ කාර්ය බව, බණ ඇසීමට වඩා තණකොළ ගහක් ගැලවීම හොඳ බව, වැනි කාරණා සමාජගත කරමින් පවතී. ඒ අනුව උන්වහන්සේට අවශ්‍ය වූයේ සමාජයේ අවධානය බව ඉරාජ් වීරරත්නගේ ‘ගිනියම් රෑ සින්දුව සඳහා රැස් වළල්ලක් භාවිතා කිරීමට ඉඩ දීමෙන් හොඳින්ම පැහැදිලි වේ.
මෙම negative marketing සංකල්පය එනම් සමාජයේ අසම්මතයන් හරහා අවධානය ගැනීම උන්වහන්සේ ආරම්භ කළේ ස්වර්ණවාහිනිය දෙරණ වැනි ආයතන වලින් උන්වහන්සේ රහත් භාවයක් ප්‍රකාශ කරන නිසා දේශනා සඳහා ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා ය. ඉරාජ් වීරරත්න, අශේන් සේනාරත්න, පියුමි හංසමාලි, කුවේට් කුමාරි වැනි පුද්ගලයින් ප්‍රසිද්ධ වූයේ කිසියම් නරක වැඩක් සමාජගත වීමෙන් හෙවත් සංස්කෘතිය ඛණ්ඩනය කිරීමෙන් බව හොඳින් අධ්‍යනය කළ මේ පිටිදුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ තමන් වහන්සේ ද එම ක්‍රමයම භාවිත කරමින් ඉරාජ් වීරරත්න ගේ මගපෙන්වීම අනුව youtube චැනලයක් නිර්මාණය කර ගනිමින් එම කාර්යයට අත්පොත් තැබීය.
මෙයට හේතු වූයේ එම negative marketing හරහා ඉහත කී පිරිස ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සහ සාර්ථකම විවසායකයින් බවට පත්වීමයි. උදාහරණ වශයෙන් අශේන් සේනාරත්න සමාජයෙන් ඉතාමත් ගැරහුම් ලැබූ පුද්ගලයෙකු වුවත් වර්තමානයේ බුරියානි නිෂ්පාදනය හරහා ලංකාව පුරාම බික නමින් අවන්හල් ජාලයක් නිර්මාණය කොට තිබේ. එදා ඉතාමත් පහත් ලෙස බැනුම් ඇසූ පුද්ගලයෙකු වුවත් අද ඔහු සමාජයෙහි කීර්තියට භාජනය වෙමින් පවතී. ඉරාජ් වීරරත්න යනු ද හොඳ ගීත නිර්මාණ සිදු කළ අයෙකු උවත් පසුකාලීනව ඔහු මිනිසුන් අතර කතාබහට ලක් වූයේ ගිනියම් රෑ, ආෂාවරි, වැනි නිරුවත මාකට් කරමින් සහ සමලිංගිකත්වය උද්දීපනය කරමින් සිදු කළ නිර්මාණ නිසාය. ඒ සම්බන්ධව සමාජය තුළ ලක්ෂ ගණනින් ඔහුට විවේචන එල්ල වෙද්දී ඔහු සිදු කළේ ටිකෙන් ටික යහපත් දේ සිදු කිරීමයි. මේ අනුව වර්තමානය වන විට ඉරාජ් වීරරත්න සමාජ මාධ්‍ය නාලිකා කිහිපයක් ම පවත්වාගෙන යමින් ඉතාමත් විශාල ආදායමක් ලබයි. සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේද සිදු කරනු ලබන්නේ මෙකී කාර්යමය. තමන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් යැයි හඳුනා ගැනීම පවා මෙම negative marketing සංකල්පය ම ය. negative marketing සංකල්පයේ ලක්ෂණය නම් පුද්ගලයින්ගේ අවධානය රිනාත්මක ලෙස ලබා ගැනීමයි.මේ සඳහා සාක්ෂි වශයෙන් උන්වහන්සේගේ youtube යූ ටියුබ් චැනලයේ thumbnails වල දසුනක් මේ සමඟ එවමි. එහි බොහොමයක් තිබෙන්නේ සමාජයේ පවතින ඇතැම් දේ ඛණ්ඩනය කිරීම තුළින් ලබාගත් ආකර්ෂණය. (උදාහරණ ලෙස පිටිදූවෙ හිමි රාධගේ රෙදි ගලවයි වැනි වදන් භාවිතය.)
මෙම කාරණා සියල්ල පිළිබඳව විමසා බැලීමේදී පැහැදිලි වන කාරණාව නම් මෙම භික්ෂූන් සිදුකරනු ලබන මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරියේදී ලංකාවෙහි බුද්ධශාසනයට ඉතාමත් විශාල බලපෑමක් සිදුවන බවයි. මෙහි බලපෑම කොතෙක්ද යත් අනාගතයේ දිනෙක රුවන්වැලිසෑය, ජේතවනාරාමය, වැනි වෙහෙර විහාරස්ථාන පවා විනාශ කිරීමට වත්මන් තරුණ පිරිස එනම් එදාට බහුතරයක් වන පිරිස කටයුතු කිරීමට සැරසෙනු ඇත. ශ්‍රද්ධාව නොමැති වීම නිසා කිසිදු ගෞරවයක් නොමැතිව ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා සාමාන්‍ය මිනිසුන් මෙන් කටයුතු කරන අය ලෙස විනිශ්චය කරන අතර එම කාලයේ දී භික්ෂූන්ට වහනයක බස් රථයක වුවත් ආසනය නොලැබෙනු ඇත.
වර්තමානයේ සමාජ මාධ්‍ය නිසා සහ නිරාගමික බෞද්ධ විරෝධින් නිසා කොහේ හෝ මන්දමානසික භික්ෂුවක් සිදුකරන අපචාරයක් හෝ දූෂණ වංචාවක් සමාජගත වීමෙන් එය ලංකාවේ නිතර සිදුවන සහ භික්ෂූන් වහන්සේලා සාමාන්‍යයෙන් සිදු කරන නරක කාර්යයක් ලෙස හුවා දැක්වීම නිසා සම්බුද්ධ ශාසනයට අගෞරව වෙමින් පවතී. ඒවා බුද්ධ කාලයේ පවා සිදු වූ වැලකිය නොහැකි සිදුවීම් ය. එහෙත් මා මෙහි සඳහන් කරන්නේ එම නිරායාසයෙන් සිදුවන සිදුවීම නොව දුරදිග නො බලන පිටිදුවේ සිරිධම්ම හිමියන් තිත්තගල්ලේ හිමියන් වැනි භික්ෂූන් අතින් සිදුවන දැඩි ශාසනික හානිය පිළිබඳවයි.
මෙම තත්ත්වය පිළිබඳව බොහෝ භික්ෂූන් වහන්සේලා සමාජයට අදහස් ප්‍රකාශ කළ ද ඉහත සඳහන් කළ භික්ෂූන් වහන්සේලාගේ සමාජ මාධ්‍ය තුළ පිරිස වැඩි වීම හා එම භික්ෂූන් සිදුකරනු ලබන උපක්‍රමශීලී නෙගටිව් මාර්කටින් ක්‍රියාමාර්ග නිසා එම වීඩියෝ බොහෝ දෙනෙක් අතර හුවමාරු වීම නිසා එම අසත්‍ය අවිනය හා අධර්මවාදී ප්‍රකාශ සම්බන්ධව සිදුකරන පිළිතුරු දේශනා සමාජගත නොවේ.
මේ අනුව ඉහත කාරණා සියල්ල පිළිබඳව විමසීමෙන් කටයුතු කිරීමේදී සම්බුද්ධ ශාසනයේ අනාගතය සම්බන්ධයෙන් එල්ල වන මෙම බලපෑම වළක්වා ගැනීමට හෝ එය තරමක් දුරට පාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වන බව මගේ අදහසයි. වැවයි දාගැබයි, ගමයි පන්සලයි යන සංකල්පය ඔස්සේ සිංහල ජනතාවගේ ඒකරාශී වීමත්, ජාතිය ආගම සංස්කෘතිය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කිරීමත් නිසා රැකුණු මේ සම්බුද්ධ ශාසනය, ආචාර ධර්ම පද්ධති, සංස්කෘතික කාරණා, අඩුම තරමින් කරුණාව මෛත්‍රීයෙන් එකිනෙකාට සංග්‍රහ කිරීම පවා එම කාර්යය නිසා දියාරු වී යනු ඇත. කෙටියෙන් කිවතොත් එහි ප්‍රතිඵල වන්නේ සිංහල ජනතාව තුළ තම ආගම දහම විනාශ වී ගියත් තමන්ට එයින් වැඩක් නැතැයි යන සංකල්පය ඇති වීමයි. ඉහත භික්ෂූන් සඳහන් කරන පන්සල් යෑමෙන් වැඩක් නැත, තමන් හොඳ වැඩ කිරීම පමණක් ප්‍රමාණවත් යැයි කරන ප්‍රකාශය නිසා ඉදිරියේ දී පන්සල් වලට දායකයින්ගේ පැමිණීමක් සිදු නොවනු ඇත. අපායක් නැතැයි හෝ දිව්‍ය ලෝක නැතැයි කරන ප්‍රකාශ හරහා එය බාල හා තරුණ ප්‍රජාව වැරදියට අල්වා ගැනීම වැලැක්විය නොහැකිය. ඉන් ඉදිරියට සමාජය පවට බිය නොවනු ඇත. එහි කිසිදු ගැටළුවක් නැත, ඔවුන් සුළු කොටසක් යැයි අපට සිතුණත් හෙයින් විනාශ වන්නේ සිංහල ජනතාවගේ පවතින ශක්තිය යි. ඒ සඳහා අනෙකුත් ජාතීන් ද සතුටින් උපකාර කරන අතර ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් කොතරම් ප්‍රාථමික හා අවිද්‍යාත්මක වුවත් ඔවුන් අපගේ ඉගැන්වීම් අදටත් ප්‍රශ්න කරන තත්ත්වයක් දක්නට ඇත.
භික්ෂුවගේ පැවැත්ම විනය යැයි විනයෝ නාම සාසනස්ස ආයු ලෙස සඳහන් කළත්, සංගායනා බොහොමයක පදනම විනය වුවත්, “අප්පසන්නානං වා පසාදාය – පසන්නානං වා භීයෝභාවාය” යන පාඨය හරහා භික්ෂුවගේ බාහිර චර්යාව ගිහියාගේ පැහැදීම පිණිස හොඳින් පවත්වා ගත යුතුය යැයි ත්‍රිපිටකයෙහි සඳහන් වුවත්, ඒ සියල්ල බොරු යැයි කියමින් විනය යනු සිත පමණක් දමනය කර ගැනීම ලෙස ඉහත කී භික්ෂූන් දක්වන බැවින් ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා කිසිදු සංවරයක් නොමැතිව කටයුතු කරනු අනිවාර්ය වශයෙන්ම දැකිය හැකි වනු ඇත. සංවරය යනු සේඛියා තුල හෝ විනයෙහි දක්වන බාහිර චර්යාව නොව යන සංකල්පය සමාජගත කිරීම නිසා ඕනෑම වරදක් සාධාරණීය කිරීමට අවකාශය ලැබීම සිදු වේ. එනම් “මා එය සිදුකලේ හිතේ හොඳ අරමුණකින්” ලෙස දක්වමිනි. එකී භික්ෂූන් තුළ අපට දැකිය හැකිවනු ඇත්තේ එක් දෙයක් පමණි එනම් කහපාට සිවුර ය. සරලවම කිවහොත් ඇඟේ කහ නූලක් පමණක් බඳින කාසාවකණ්ඨකයින් නොබෝ කාලයකින් ම පහළ වනු ඇත.
මා මේ ලිපිය ලියනු ලබන්නේ මා මෙවන් ලිපියක් එවීම සම්බන්ධ බලතල හිමි අයෙකු ලෙස හෝ උපදෙස් දීමක් ලෙස හෝ නොව මේ සාසනයට සිදුවන අගතිය පිළිබඳ ව මට හැකි ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ මාගේ ප්‍රකාශන සිදුකළ භික්ෂුවක් ලෙස ය. එම දේශනා තුළ බොහෝ දෙනෙක් මා වෙත දක්වන අදහස් වන්නේ මෙවන් දේ සම්බන්ධව ඔබවහන්සේ තරුණ භික්ෂුවක් ලෙස අදහස් ප්‍රකාශ කලත් වගකිවයුතු ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධව නිහඬව සිටින්නේ ඇයි ද යන්නයි.
මෙයට එක් හේතුවක් ලෙස මා දකින්නේ එසේ භික්ෂුවක් නැගී සිටියහොත් පිටිදුවේ සිරිධම්ම වැනි ස්වාමීන් වහන්සේලා එකී නැගී සිටි භික්ෂුවගේ යම් කිසි වරදක් අලලා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන සිදු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය කරන සාධක පවා ත්‍රිපිටකය තුළ ම තිබීම අපට ඉතාමත් භයානක තත්ත්වයක් ගෙන දේ. උදාහරණ ලෙස බුද්ධ පූජාවක් ආමිසව සිදු කිරීම නිසා “බුදුරජානන් වහන්සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව අගය කලා ලෙස දොස් නැගීමයි. එහෙත් ආමිස පූජාව බුදුරජුන් අගය නොකලා මිස බැහැර කලේ නැති බව එම භික්ෂූන් පවසන්නේ නැත.
අටුවා දේශනා සිදු කළ උපසම ස්වාමීන් වහන්සේ, ත්‍රිපිටකය සම්බන්ධ ගවේෂණයන් සිදු කරමින් පර්යාප්තිය ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ කටයුතු සිදුකරන වියත් පුද්ගලයෙක් වන ගයාන් චානුක විදානපතිරණ, ධර්ම දේශනා සිදුකරන ගෝතම ස්වාමීන් වහන්සේ එවැනි බොහෝ භික්ෂූන් වහන්සේලා සමාජය වෙනුවෙන් සිදුකරන යහපත් ක්‍රියාකාරකම් පිළිබඳව වචනයකුදු සඳහන් නොකර උන්වහන්සේලාගේ කුඩා ආකල්පයක් හෝ වචනයක් ගෙන මෙම පිටිදුවේ සිරිධම්ම වැනි ස්වාමීන් වහන්සේලා ස්වකීය negative marketing සංකල්පය සිදු කරමින් පවතී.
උදාහරණ වශයෙන් මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇතිකර ගැනීම වැදගත් බවත් පන්සල් වලට සහභාගි වෙමින් පුද පූජාවන් වලට සම්බන්ධ වීම වැදගත් බවත් යම් කිසි භික්ෂුවක් ප්‍රකාශ කළහොත් ත්‍රිපිටකයේ ම සාධක ගෙන එවන් කාරණා ත්‍රිපිටකය තුළ නැති බවට ප්‍රකාශ කිරීම දැකිය හැකිය. කොටින්ම කිවතොත් එම භික්ෂූන් වහන්සේලාගේ අන්තවාදී ත්‍රිපිටක ප්‍රකාශ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ද සිදුකර තිබෙන්නේ වරදකි. ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම වීමත්වීමත් කුල 18 ක පිරිසක් ලංකාවට ගෙන ඒමත් ඉතාමත් වැරදි සහගත කාරණා ලෙස මෙම පිටිදුවේ සිරිධම්ම වැනි භික්ෂූන් වහන්සේලා අදහස් දක්වති. එකී භික්ෂුවගේ යම් දෙබිඩි කාරණාවක් මා මෙහි සඳහන් කරමි.
එනම් උන්වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණෙමින් ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය ඇති කිරීම හරහා බෞද්ධ දර්ශනය සමාජගත වූයේ නැති බවට චෝදනා කළ උන්වහන්සේ පසු කාලීනව තම උමන්දාව නිර්මාණය කරමින් ප්‍රකාශ කළේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙන ආ සංස්කෘතිය තමන් නිර්මාණය කරන බවයි. අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා වන මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු මෙම පිරිස ලංකාවේ බුද්ධ ශාසනයට සිදු කරන මේ විනාශය පිළිබඳව ඔබ වහන්සේලා ගේ අවධානය ලබා දෙන මෙන් කරුණාවෙන් දන්වා සිටිමි.
මේ පිළිබඳව අපට සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව තරුණ ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඔබවහන්සේලාට මා මෙසේ යෝජනා කරමි.එනම් සීමාවන් තුළ අප විනය කර්ම සිදු කරන අතර එහිදී මෙවන් කාරණා සම්බන්ධව සාකච්ඡා කරන්නේ ඉතාමත් සුලු වශයෙනි. ඇතැම් විට රටේ මෙම තත්වයන් ගැන බොහෝ ස්වාමින් වහන්සේලා දැනුවත් ද නැත. ඒ අනුව මෙවන් කාරණා සම්බන්ධව සාකච්ඡා කළ හැකි වැදගත්ම තැනක් වන්නේ සීමාවයි. කුමක් නිසාදයත් වස් පවාරණය වැනි කටයුතු සඳහා ප්‍රදේශයේම සිටින වැදගත් සහ වගකිවයුතු ස්වාමීන් වහන්සේලා එම ස්ථානයට සම්බන්ධ වීම සිදුවන බැවිනි. එහෙත් අප එවැනි දේ සම්බන්ධව සාකච්ඡා නොකරන බැවින් මෙම භික්ෂූන් වහන්සේලා සිදුකරන මෙම ව්‍යාපාර තව තවත් සාර්ථක වෙමින් පවතී.
එසේම අතීතයේ බුද්ධකාලයේ පටන් තවත් භික්ෂුවක් සම්බන්ධ අවිනය හෝ අධර්මවාදී යමක් විසඳාගෙන ඇත්තේ භික්ෂු සංස්ථාවතුලම වුවත් ලංකාවේ මෙම භික්ෂූන් වහන්සේලා සිදුකරන්නේ ලක්ෂ ගණනක් සිටින සමාජ මාධ්‍යයේ ය. එහි අරමුණ එකී තවත් භික්ෂුවක් නිවැරදි කිරීම නොව තමන් වෙත අවධානය ගැනීම බව පැහැදිලිය. එය වලක්වාගෙන අපගේ ප්‍රශ්න සමාජයට නොදී විසඳා ගැනීමේ ක්‍රමවේදයක් උන්වහන්සේලාට හඳුන්වා දෙන්නට හැකිනම් එය තවත් සුදුසු බව මට සිතේ. එය සිදුකල හැක්කේ උන්වහන්සේලාට උපදෙස් දියහැකි මට්ටමේ සිටින නායක ස්වාමින් වහන්සේලාට පමණි. මෙම ලිපිය පවා මා ලියනු ලබන්නේ අවදානමක් ලෙස පවා දැනගෙන මෙන්ම ශාසනය වෙනුවෙන් ඕනෑම අභියෝගයන් භාර ගැනීමට සුදානමිනි.
මා මේ සම්බන්ධව මට හැකි අයුරින් සිදුකරන ලද දේශනා කර්ම නම් යූටියුබ් නාලිකාවෙන්, ගලගම හාමුදුරුවෝ නම් facebook පිටුවේ දක්වා තිබේ. ඒවා සම්බන්ධව අදහස් දක්වා තිබෙන පිරිස් වලින් බහුතරයක් දක්වා තිබෙන්නේ මෙ වැනි ප්‍රකාශ සිදු කිරීම නිසා තවත් පිරිසක් මෙම වැරදි දැක්මට පෙළඹීමෙන් වෙන් වන බවයි. එබැවින් අප මෙකී කාරණා සම්බන්ධව කටයුතු කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් ලෙස සඳහන් කරමි.
අවසාන වශයෙන් මෙම ලියමන ඉහත කී ස්වාමින් වහන්සේලාගේ පිරිස් දකින්නේ නම් මෙය ද සඳහන් කරමි. මෙම කාරණාව උන්වහන්සේලා සමඟ මුහුණට මුහුණ විවාද කරනවා යැයි කියමින් කටයුතු කල භික්ෂූන් මෙන් මා සිදු නොකරන්නේ එය ද උන්වහන්සේලා ට තවත් නෙගටිව් මාර්කටින් උපක්‍රමයක් බව දන්නා නිසාය.
හදිසියේ සටහන් කරනු ලබන මාගේ මෙම ලියමන නිසා හෝ භාෂා ශෛලිය නිසා ඔබවහන්සේට කිසියම් සිත් රිදවීමක් වූවානම් සමාවන ලෙස ඉල්ලා සිටිමි.