නව හැවිරිදි දරුවකුට පාසල තුලදී ගුරුවරියක වදහිංසා කිරීම සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන් රැසකට මෙන්ම පොලීසියට ද පැමිණිලි කර තිබේ.
හැටන් අධ්‍යාපන කලාපයේ බොගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ අංක 2 දෙමළ විදුහලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පුතුට ඉංග්‍රීසි ගුරුතුමිය විසින් නොවැම්බර් 6 වැනිදා මුගුරකින් පහරදීම සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් විසින් එදිනම බොගවන්තලාව පොලීසියට පැමිණිලි කර ඇති බවට පළාත් බද වාර්තාකරුවන් පවසයි.
ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ සිසුවාගේ දෙමව්පියන් විසින් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මෙන්ම හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයටත් පැමිණිලි කර ඇති බවයි.
සිසුවා බොගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමටත් දෙමාපියන් කටයුතු කර තිබේ.
ඉංශ්‍රිසි ගුරුතුමිය විසින් ඉගැන්වීමේ කටයුතු වල නිරතව සිටින මොහොතේ මෙම සිසුවා සිය මිතුරා සමග පංති කාමරය තුළ කතා කරමින් සිටීම නිසා කෝපයට පත් ගුරුතුමිය කෝටුවකින් සිසුවාගේ දකුණු අතට සහ පිට කොන්දට පහර දී ඇති බවට පොලීසිය කළ විමර්ශන වලදී තහවුරු වී ඇති බවට පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
ශ්‍රී ලංකාවද අනුමත කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ප්‍රකාර පාසල තුළ විනය ආරක්ෂා කිරීමේදී ශාරීරික දඬුවම් දීමෙන් වැළකී සිටීමටත්, පාසල් විනය පරිපාලනය ළමයාගේ මානව ගරුත්වය රැකෙන ආකාරයෙන් සිදුකිරීමටත් දී ඇති නිර්දේශ පිළිබඳව දිවයිනේ සියළු පාසල් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අවධාරණය කර තිබුණි.
එම මාර්ගෝපදේශ ඇතුලත් කොට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දී ඇති පාසල තුළ විනය ආරක්ෂා කිරීම සඳහා වන 12/16 චක්‍රලේඛය ගුරුවරුන්ගේ විවේකාගාරවල ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයද එහිදි මතු විය.
පාසල් දරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍ර ලේඛයට පටහැනිව කටයුතු සිදුකිරීම තුල පාසල් පද්ධතියට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල වී තිබෙන ආකාරය ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විසින්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ.
සිසුන්ට දඬුවම් දෙන ගුරුවරුන්ට එරෙහිව ළමුන් කෘරත්වයට භාජනය කිරීම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ නඩු පැවරිය හැකි බවත්, විනය ක්‍රියාමාර්ග ගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛයේ දැක්වේ.
(ශ්‍රී ලංකාවේ සිටින අති බහුතරයක් ගුරුවරු ගුරුවරුන් ලෙස ඉගෙන ගත යුතු ගුරු ආචාරධර්ම ඇතුළු ගුරුවරුන් සදහා වන ඩිප්ලෝමා හෝ උපාධි සම්පූර්ණ කර නැත.ලංකාවේ අති බහුතරයක් බලධාරීන් ගුරුවරුන් ලෙස පත් කරනු ලැබුවත් ඔවුන් පත් කිරීමට පෙර ගුරු උපාධිය හෝ ගුරුවරු ලෙස දරුවන් සමග ජීවත් වන්නේ කෙසේද? යන්න දැනුම ලබා දිය යුතු ය.
නමුත් අප දකින ශ්‍රී ලංකාවේ උපාධියට ගුරු වෘත්තීය පිරිනැමුවත් ගුරු වෘත්තීයට අවශ්‍ය සුදුසුකම ලබා නොදීම නිසා මේ වන විටත් ගුරු වෘත්තීය බිඳ වැටෙමින් තිබේ.
අපට දිනපතාම පාසල්වලින් අසන්නට ලැබෙන්නේ ගුරුවරුන් පිළිබඳව නොව ගුරුවරුන් ලෙස බැදී සිටින විවිධ උපාධිධාරීන් සිදු කරනු ලබන විවිධ පහරදීම් ,දරුවන්ට වධ හිංසා සිදුකිරීම් ආදී දරුවන් කවුරුන්දැයි හදුනා නොගත් ගුරු පරපුරක ක්‍රියාකාරකම් වේ.
එබැවින් ගුරුවරයෙක් ලෙස යම් කිසි පුද්ගලයෙක් පාසලක තම රාජකාරී කරන්නේ නම් ප්‍රථමව ගුරුවරයා කව්රුන්ද ? යන්න සහ ගුරුවරයෙකු ලෙස හැසිරිය යුත්තේ කෙසේද? යන්න වෙනමම ඉගෙනගත යුතුය.එසේ නොවන විට මෙවැනි අපරාධ අපට දිගින් දිගටම අසන්නට ලැබේ.)