මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මඟින් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී තිබෙන බව වාර්තා වේ .
නගර සභාවට අයත් කඩ කාමරවල කුලී අය කිරීමේදී හා කඩ කාමර වෙනත් අයට පැවරීමේදී ව්‍යාජ රිසිට්පත් ඉදිරිපත් කරමින් රුපියල් දෙකෝටි දාහත්ලක්ෂයක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වන ගිණුම් අංශ සේවිකාවට එරෙහිව අධිකරණය මඟින් විදේශගත වීම වළක්වා ගැනීම සඳහා නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබ ඇත්තේ ද නාගරික කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකින් පසුව වන අතර රුපියල් ලක්ෂ 51ක මුදලක් නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය දියණියගේ මංගල උත්සවය සඳහා රැගෙන ගොස් මේ වන විට මාස එකහමාරක පමණ කාලයක් ගත වී තිබේ. ඒ සම්බන්ධයෙන් ද නගර සභාව මඟින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් .
මෙම මූල්‍ය වංචා සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින් බවට නගර සභා සේවකයෝ චෝදනා කරන අතර අදාළ වංචාවන් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේගේ උපදෙස් මත පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය.
එම පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් අදාළ සේවිකාවන් දෙදෙනාගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බව ද වාර්තා වේ .