විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇතැයි ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .
එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ ඖෂධ ආනයන සමාගම් දහ හතක් මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇති බවත් , අවශ්‍ය නිර්දේශ නොලැබීම නිසා කොළඹ වරායේ ඖෂධ රැගත් නැව් පහළොවක් සිර වී ඇති බවත් ය.
තවත් ඖෂධ නැව් භාණ්ඩ 84ක් කොළඹ වරායට ළඟා වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද ඖෂධ 129ක් මවු සමාගම්වල සිර වී තිබෙන බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙන අතර මේ නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීමෙන් පාඩුවක් ලබන බවත් ගුදම්වල රඳවා තැබීමෙන් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මතු වන බවද මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ .
පසුගිය කාලයේ මෙවැනි තත්ත්වයක් උද්ගත නොවූ බවත් , වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උද්ගතවිම විසඳීම සඳහා වහාම මැදිහත් වන ලෙස මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීයි.